නැගෙනහිර පළාතේ මහවැලි අධිකාරිය යටතට පවරාගෙන ඇති දිවුලපතාන ග්‍රාමයේ පදිංචිකරුවන් ඉවත් කිරීමට පෙර ඒ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් පවත්වා ඔවුන්ට නිසි සහන ලබා දීමට පියවර ගන්නා බව නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය. පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් සහ එම ග්‍රාමවාසීන් පිරිසක් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලූ අවස්ථාවේදී අතිරේක සොලිසිටර් ජෙනරාල් විකුම් ද ආබෲ මහතා මේ බව සහතික කළේය. ඒ අනුව අදාළ පරීක්ෂණය හරහා මුල් පදිංචිකරුවන් හඳුනාගෙන ඔවුන්ට විකල්ප ඉඩම් හෝ වන්දි ලබා දීමට රජය කටයුතු කරනු ඇත.
අගවිනිසුරු ප්‍රීතිපද්මන් සුරසේන මහතා ඇතුළු ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම කරුණු ඉදිරිපත් වූ අතර පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කනිෂ්ක විතාරණ මහතා අවධාරණය කළේ මෙම පරීක්ෂණ කටයුතු අවසන් වන තෙක් පදිංචිකරුවන්ට වත්මන් ස්ථානවල රැඳී සිටීමට අවසර ලැබිය යුතු බවයි. දෙපාර්ශවයේ එකඟතාව මත පෙත්සම් විභාගය අවසන් කිරීමට තීරණය කළ විනිසුරු මඩුල්ල, පරීක්ෂණයෙන් පසුව නිසි සහනයක් නොලැබුණහොත් මෝසමක් මගින් මෙම නඩුව යළි කැඳවීමට පෙත්සම්කරුවන්ට අවසර ලබා දුන්නේය.













