රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) මේ වන විට මතු කර ඇති ගැටලු වෘත්තීය ගැටලු නොව දේශපාලන ගැටලු බවත්, එවැනි දේශපාලන න්‍යාය පත්‍රයන්ට විසඳුම් ලබා දීමට රජය සූදානම් නැති බවත් සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා අවධාරණය කරයි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට අයත් විශේෂඥ වෛද්‍යවරුන් සිය සේවා ස්ථානයෙන් බැහැර රෝහල්වල ආවරණ රාජකාරිවලින් ඉවත් වීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
රජයේ වෛද්‍ය නිලධාරින්ට ඇත්තේ දේශපාලන ගැටලු විනා වෛද්‍ය ගැටලු නොවේ
නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වර්තමානයේදී වෘත්තීය සමිතියකට වඩා දේශපාලන සංවිධානයක් ලෙස ක්‍රියා කරන බවයි. වෛද්‍යවරුන්ගේ සැබෑ ගැටලු සහ දේශපාලන අරමුණු මත ගොඩනැඟුණු ගැටලු වෙන් වෙන් වශයෙන් හඳුනා ගැනීමට රජයට හැකියාව පවතින බව ද ඔහු සඳහන් කළේය. සංගමය වෘත්තීය ක්‍රියාමාර්ගයක් ප්‍රකාශයට පත් කර තිබුණ ද, රජයේ රෝහල්වල කටයුතු කිසිදු බාධාවකින් තොරව සාමාන්‍ය පරිදි සිදු වන බවත් වෛද්‍යවරුන් සුපුරුදු පරිදි සිය සේවාවන් සපයන බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය. මෙම වෘත්තීය ක්‍රියාමාර්ග දිනෙන් දින අසාර්ථක වෙමින් පවතින බව ප්‍රකාශ කළ අමාත්‍යවරයා, ජනතාව අපහසුතාවයට පත් නොවන ලෙස සේවාවන් පවත්වාගෙන යාමට රජය කැපවී සිටින බව ද අවධාරණය කළේය.














