ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින බවට සැකකෙරෙන මෙරට ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ පාතාල කල්ලි නායකයෙකු වන පටබැඳි මද්දුමාගේ ෂෙහාන් සත්සර හෙවත් ‘දෙහි බාලේ මල්ලි’, සිය බිරිඳ වන දිල්ෂා නිශාරා වෙනුවෙන් ඩුබායි මුහුදු තීරයේ සුඛෝපභෝගී නෞකාවක අතිශය විචිත්‍රවත් උපන්දින සාදයක් පවත්වා ඇති බව අනාවරණය වේ. මෙරට ඉහළ පෙළේ පොලිස් නිලධාරියෙකු විසින් තහවුරු කර ඇති පරිදි, මෙම සාදය සඳහා නෞකා කුලිය, විදේශීය මත්පැන් සහ ආහාරපාන වෙනුවෙන් රුපියල් කෝටියකට අධික මුදලක් වැය කර තිබේ.
හිතවතුන් සහ සමීපතමයින් සියයකට ආසන්න පිරිසක් සහභාගී වූ මෙම සාදයේදී, ඔහුගේ බිරිඳ ගීත ගායනා කරන ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙමින් පවතී. මීට පෙර, මුදල් විශුද්ධිකරණ පනත යටතේ මොහුට අයත් රුපියල් කෝටි පහකට අධික වටිනාකමකින් යුතු දේපළ, නිවාස සහ බහුදින ධීවර යාත්‍රා පහක් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් තහනම් කිරීමට පියවර ගෙන තිබුණි.
ඩුබායි රාජ්‍යයේ සිට මොහු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ යාත්‍රා කිහිපයක්ම පසුගිය කාලයේදී නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ අතර, ආරක්ෂක අංශ මේ වන විට මෙම පාතාල නායකයාගේ ජාලය මර්දනය කිරීමට දැඩි අවධානයක් යොමු කර ඇත.














