මැදපෙරදිග කලාපයේ පවතින ආරක්ෂක තත්ත්වය සැළකිල්ලට ගනිමින්, ඩුබායි රජයේ මාධ්‍ය කාර්යාලය විසින් මහජන ආරක්ෂාව පිළිබඳ විශේෂ මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබේ. ඩුබායි නගරය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය සම්පූර්ණයෙන්ම ආරක්ෂිත බවත්, සියලු කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බවත් අවධාරණය කරන බලධාරීන්, හදිසි අවස්ථාවකදී ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව මෙලෙස උපදෙස් ලබා දී ඇත.
ඔබ එළිමහනේ සිටී නම්, වහාම සන්සුන්ව අසල ඇති ගොඩනැගිල්ලක් තුළට ඇතුළු විය යුතුය. රිය පදවමින් සිටින්නේ නම්, හැකි ඉක්මනින් ආරක්ෂිතව ආවරණය සහිත ස්ථානයකට වාහනය රැගෙන යා යුතුය. විවෘත ස්ථාන, ජනේල, බැල්කනි සහ වීදුරු ආවරණ සහිත බිත්තිවලින් ඈත්ව සිටීම අත්‍යවශ්‍ය වේ.
ඔබ ගොඩනැගිල්ලක් තුළ සිටී නම්, ජනේල සහ වීදුරු මතුපිටින් ඈත්ව ගොඩනැගිල්ලේ ඇතුළත ආරක්ෂිත ස්ථානයකට ගමන් කළ යුතුය. ආරක්ෂක අංශ මගින් නිල වශයෙන් “තත්ත්වය සමනය වූ බවට” (All Clear) පණිවිඩයක් ලැබෙන තුරු එම ස්ථානයේම රැඳී සිටිය යුතු අතර, විශේෂ උපදෙසක් ලැබෙන තුරු විදුලි සෝපාන (Elevators) භාවිත කිරීමෙන් වැළකී සිටිය යුතුය.
සමාජ මාධ්‍ය හරහා සංසරණය වන තහවුරු නොකළ හඬ පට, වීඩියෝ හෝ පණිවිඩ හුවමාරු කර ගැනීමෙන් වළකින ලෙසත්, රජයේ නිල පුවත් මූලාශ්‍ර කෙරෙහි පමණක් විශ්වාසය තබන ලෙසත් ඩුබායි මාධ්‍ය කාර්යාලය මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.














