පසුගිය වසරේදී ජාත්‍යන්තර සංචාරකයින් කෝටි එකයි දශම නවයයි පහකට අධික ප්‍රමාණයක් පිළිගනිමින් ලොව වැඩිම පිරිසක් පැමිණි නගරයක් බවට පත් වූ ඩුබායි නගරයේ සංචාරක කර්මාන්තයට, වර්තමානයේ පවතින අමෙරිකා-ඊශ්‍රායල සහ ඉරාන යුද්ධය හේතුවෙන් දැවැන්ත පහරක් එල්ල වී තිබෙනවා. සාමාන්‍යයෙන් සංචාරකයින්ගෙන් සහ දේශීය පාරිභෝගිකයන්ගෙන් පිරී පවතින ඩුබායි හි සුප්‍රසිද්ධ අවන්හල් රැසක් පසුගිය මාසය පුරාම පාළුවට ගොස් ඇති අතර මේ හේතුවෙන් එරට දේශීය ව්‍යාපාර දැඩි අර්බුදයකට මුහුණ දී සිටින බවයි වාර්තා වන්නේ.
ඩුබායි හි වසර දහයකට අධික කාලයක් සාර්ථකව ව්‍යාපාර කටයුතු මෙහෙයවන ප්‍රකට ‘Tashas’ ආපනශාලා ජාලයේ නිර්මාතෘ නටාෂා සිඩෙරිස් (Natasha Sideris) පවසන්නේ යුදමය තත්ත්වය නිසා තම ව්‍යාපාරවල ආදායම සීග්‍රයෙන් පහත වැටී ඇති බවයි. ඇය සතු ආයතන 14 ක සේවය කරන සේවකයන් දහසකට අධික පිරිසකගේ රැකියා සුරක්ෂිත කිරීම වෙනුවෙන් ඇය ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයේ වැටුප් සියයට තිහකින් කපා හැරීමට පවා ඇයට සිදු වී තිබෙනවා. ඇය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ සාමාන්‍ය වැසියන් ගැවසෙන ප්‍රදේශවල පිහිටි ආපනශාලාවල ආදායම සියයට පනහකින් පමණ අඩු වී ඇති නමුත්, විදේශීය සංචාරකයින් ඉලක්ක කරගත් ආපනශාලාවල ආදායම සියයට හැත්තෑවක සිට අසූවක තරම් අතිවිශාල ප්‍රතිශතයකින් පහත වැටී ඇති බවයි.














