එල් සැල්වදෝර ජනාධිපති නයීබ් බුකේලේ (Nayib Bukele) විසින් අපරාධ කල්ලි මර්දනය කිරීම සඳහා ක්‍රියාත්මක කරන දැඩි වැඩපිළිවෙළ යටතේ, ‘මාරා සැල්වට්රුචා’ (MS-13) කල්ලියට සම්බන්ධ යැයි සැකකෙරෙන සාමාජිකයන් 486 දෙනෙකුට එරෙහිව සමූහ නඩු විභාගයක් ඊයේ (අප්‍රේල් 21) ආරම්භ විය. මෙය එරට ඉතිහාසයේ පැවැත්වෙන විශාලතම නඩු විභාගයන්ගෙන් එකකි.
මෙම කල්ලි සාමාජිකයන්ට එරෙහිව 2012 සහ 2022 අතර කාලය තුළ සිදුකරන ලද මිනීමැරුම්, ස්ත්‍රී ඝාතන, කප්පම් ගැනීම් සහ නීතිවිරෝධී අවි ජාවාරම් ඇතුළු අපරාධ 47,000කට අධික සංඛ්‍යාවක් සම්බන්ධයෙන් රජයේ නීතිඥයන් චෝදනා ගොනු කර ඇත. විශේෂයෙන්ම එරට සිවිල් යුද්ධයෙන් පසුව වාර්තා වූ දරුණුතම මනුෂ්‍ය ඝාතන රැල්ලකට ද මොවුන් සම්බන්ධ බව පැවසේ.
2022 වසරේ සිට ක්‍රියාත්මක වන හදිසි නීති තත්ත්වය යටතේ එල් සැල්වදෝර ආරක්ෂක අංශ විසින් මේ වන විට පුද්ගලයන් 91,500කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ. මෙවැනි සමූහ නඩු විභාග පැවැත්වීම සඳහා එරට කොංග්‍රසය විසින් විශේෂ නීතිමය අවසරයක් ද ලබා දී ඇත.
කෙසේ වෙතත්, මෙම සමූහ නඩු විභාග පැවැත්වීම හරහා විත්තිකරුවන්ට හිමිවිය යුතු නිසි නීතිමය ක්‍රියාවලිය (Due process) උල්ලංඝනය වන බවත්, ඔවුන්ට නීතිඥ සහය ලබා ගැනීමට ඇති අවස්ථාව අහිමි වන බවත් ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන පෙන්වා දෙයි. ඇමරිකානු මානව හිමිකම් කොමිසම ද ඊයේ ප්‍රකාශ කළේ අපරාධ මර්දනය සඳහා මෙලෙස දීර්ඝකාලීනව හදිසි නීතිය භාවිතා කිරීම නතර කළ යුතු බවයි.
මෙම නඩු විභාගය ටෙකොලූකා හි පිහිටි දැඩි ආරක්ෂිත ත්‍රස්තවාදී රැඳවුම් මධ්‍යස්ථානයේ (CECOT) සිට වීඩියෝ තාක්ෂණය ඔස්සේ පවත්වනු ලැබේ.














