ඉරාන මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) ඩුබායි නගරය ඉලක්ක කර එල්ල වෙමින් පවතින පසුබිමක වුවද, සංඛ්‍යාලේඛනවලට අනුව යුරෝපයට වඩා ඩුබායි ආරක්ෂිත බව ටෙලිග්‍රෑම් (Telegram) නිර්මාතෘ පවෙල් ඩුරොව් (Pavel Durov) පවසයි. මෙම ප්‍රකාශයට ලොව ධනවත්ම පුද්ගලයා වන එලොන් මස්ක් (Elon Musk) ද සිය එකඟතාව පළ කර තිබේ.
පසුගිය සතියේ තමාට ඩුබායි නුවරින් බැහැරව යුරෝපයට පැමිණීමට සිදු වූ බවත්, ඒ හේතුවෙන් ඉරානයෙන් ලැබෙන “නොමිලේ ගිනිකෙළි සංදර්ශනය” (Free fireworks) මග හැරුණු බවත් ඔහු සිය “X” ගිණුමෙහි උපහාසාත්මකව සටහන් කර ඇත. යුරෝපයේ පවතින ඉහළ අපරාධ අනුපාතය සමඟ සැසඳීමේදී, මිසයිල පියාසර කරන ඩුබායි නගරය පවා සංඛ්‍යාලේඛනවලට අනුව වඩාත් ආරක්ෂිත බවත්, නැවත එරටට යාමට තමා නොඉවසිල්ලෙන් පසුවන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
අමෙරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාරයකින් ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඝාතනය වීමට ප්‍රතිචාර ලෙස ඉරානය විසින් පසුගිය සති අන්තයේ ඩුබායි ඉලක්ක කර මිසයිල ප්‍රහාර මාලාවක් එල්ල කරන ලදී. එවන් අවදානම් සහගත තත්ත්වයකදී වුවද ලොව ප්‍රමුඛතම තාක්ෂණික ව්‍යවසායකයෙකු මෙවැනි ප්‍රකාශයක් කිරීම ජාත්‍යන්තර අවධානයට ලක්ව තිබේ.














