ඉරාකයේ කුර්දිස්ථාන කලාපයේ අගනුවර වන අර්බිල් (Erbil) ජාත්‍යන්තර ගුවන් තොටුපළ ඉලක්ක කර අද (02) අලුයම සිට යළිත් දරුණු මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල වෙමින් පවතින බව ‘අල් අරාබියා’ (Al Arabiya) පුවත් සේවය වාර්තා කරයි. ඇමරිකානු ප්‍රමුඛ සභාග හමුදා (US-led coalition troops) රැඳී සිටින මෙම උපායමාර්ගික ගුවන් කඳවුර පරිශ්‍රයෙන් අතිවිශාල කළු දුමාරයක් අහසට නැගෙන අයුරුත්, නිරන්තර පිපිරීම් හඬවල් ඇසෙන අයුරුත් ප්‍රදේශවාසීන් උපුටා දක්වමින් එම වාර්තාවල දැක්වේ. ලොව දිගම ගුවන් පථවලින් එකක් සහිත මෙම ගුවන් තොටුපළ, ඇමරිකානු හමුදාවන්ට කලාපය තුළ මෙහෙයුම් දියත් කිරීමට ඇති ප්‍රධානතම මධ්‍යස්ථානයක් ලෙස සැලකේ.
ඉරාන හිතවාදී සන්නද්ධ කණ්ඩායමක් වන ‘සරයා අව්ලියා අල්-දම්’ (Saraya Awliya Al-Dam) මෙම ප්‍රහාරයේ වගකීම භාරගෙන ඇති අතර, ඔවුන් පවසන්නේ මෙය අයතුල්ලා අලි කමේනිගේ ඝාතනයට පළිගැනීමක් ලෙස සිදු කරන ලද්දක් බවයි. ඇමරිකානු C-RAM ගුවන් ආරක්ෂණ පද්ධති මගින් පැමිණි ඩ්‍රෝන යානා කිහිපයක් විනාශ කිරීමට සමත් වුවද, අවම වශයෙන් එක් ඩ්‍රෝන යානයක් හෝ මිසයිලයක් ගුවන් තොටුපළේ පතොරම් ගබඩාවකට (Ammunition Depot) පතිත වී ඇති බවට සැක කෙරේ. මෙම ප්‍රහාරය හේතුවෙන් අර්බිල් ගුවන් තොටුපළේ සියලුම සිවිල් ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවා ඇති අතර, අවට පිහිටි නේවාසික සංකීර්ණවල වැසියන් ද දැඩි භීතියට පත්ව සිටිති.














