යුක්රේනය ආක්‍රමණය කිරීමේදී රුසියාව විසින් සිදු කරන ලදැයි කියනු ලබන යුද අපරාධ සම්බන්ධයෙන් “පූර්ණ වගකීම සහ වගවීම” තහවුරු කරන බවට හංගේරියාව හැර යුරෝපා සංගමයේ (EU) සෙසු රටවල් 26ක් අද (31) කියෙව් නුවරදී ප්‍රතිඥා ලබා දී තිබේ. යුරෝපා සංගමයේ විදේශ ප්‍රතිපත්ති ප්‍රධානී කාජා කලාස් (Kaja Kallas) සහ යුක්රේන විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වයෙන් පැවැති විශේෂ හමුවකදී මෙම තීරණය ප්‍රකාශයට පත් කෙරුණි.
බුචා (Bucha) සමූලඝාතනයට වසර හතරක් පිරීම නිමිත්තෙන් පැවැති මෙම හමුවේදී, රුසියානු දේශපාලන සහ හමුදා නායකත්වයට එරෙහිව නඩු පැවරීම සඳහා විශේෂ අධිකරණයක් (Special Tribunal) පිහිටුවීමට රටවල් එකඟතාව පළ කළේය. හංගේරියාව මෙම ප්‍රකාශයට අත්සන් කිරීමෙන් වැළකී සිටියේ යුක්රේනය සමඟ පවතින ‘Druzhba’ තෙල් නල මාර්ගය පිළිබඳ ආරවුල සහ යුක්රේනයට ලබා දීමට නියමිත යුරෝ බිලියන 90ක ණය මුදල අත්හිටුවීම හේතුවෙන් හටගෙන ඇති උණුසුම් තත්ත්වය මධ්‍යයේය.
රුසියාවේ ක්‍රියාකලාපය දෙවන ලෝක යුද්ධයෙන් පසු යුරෝපයේ දක්නට ලැබුණු දරුණුතම අපරාධ ගණයට වැටෙන බවත්, මීට පෙර යෝජනා වී තිබූ ‘පොදු සමාව’ (Amnesty) ලබා දීමේ කිසිදු සූදානමක් නොමැති බවත් යුක්රේන විදේශ අමාත්‍ය ඇන්ඩ්‍රි සිබිහා (Andrii Sybiha) මෙහිදී අවධාරණය කළේය. රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ඇතුළු වගකිවයුත්තන් අන්තර්ජාතික නීතිය හමුවට පැමිණවීම සඳහා වන මෙම ක්‍රියාවලිය වසර අවසානයට පෙර ආරම්භ කිරීමට යුරෝපා රටවල් අපේක්ෂා කරයි.














