යුරෝපයේ ප්‍රධාන වරාය නගර රැසක වායුගෝලයට මුදාහරින සල්ෆර් ඔක්සයිඩ් (SOx) දූෂණය සඳහා මෝටර් රථවලට වඩා එහි ධාවනය වන තොටුපළ (Ferries) වගකිව යුතු බව නවතම පර්යේෂණයකින් අනාවරණය වී තිබේ. ඩබ්ලින්, හෙල්සින්කි, ස්ටොක්හෝම් සහ ටලින් ඇතුළු යුරෝපයේ විශාලතම වරාය නගර 15න් 13කම මෙම භයානක තත්ත්වය පවතින බව ‘Guardian’ පුවත්පත වෙත ලබා දුන් සුවිශේෂී දත්ත මගින් තහවුරු වේ. යුරෝපය සතු 2,000කට ආසන්න පැරණි තොටුපළ පද්ධතිය වෙරළබඩ නගරවල වාතය අපවිත්‍ර කරන ප්‍රධානතම එහෙත් අවධානයට ලක් නොවූ මූලාශ්‍රයක් බවට පත්ව ඇත.
පිළිස්සූ ගිනිපෙට්ටි හෝ කුණු වූ බිත්තරවල ගඳට සමාන ගන්ධයක් නිකුත් කරන මෙම සල්ෆර් ඔක්සයිඩ් වායුව, පසුව ශරීරයේ පෙනහළු හා රුධිර පද්ධතියට පවා ඇතුළු විය හැකි අන්වීක්ෂීය අංශු බවට පත්වී අවයවවලට බරපතල හානි සිදු කරයි. ‘Transport & Environment’ (T&E) සංවිධානය පෙන්වා දෙන්නේ මෙම තොටුපළවල් බොහොමයක් ජනාකීර්ණ වරායන් ආසන්නයේ වැඩි කාලයක් ගත කරන බැවින්, ඒවා පොසිල ඉන්ධන වෙනුවට විදුලි බලයෙන් ක්‍රියා කිරීමට (Electrification) හුරුවීම කාලීන අවශ්‍යතාවක් බවයි. 2030 වසර වන විට බැටරි තාක්ෂණය දියුණු වීමත් සමඟ යුරෝපයේ තොටුපළවලින් 43%ක් පමණ විදුලියෙන් ක්‍රියා කළ හැකි මට්ටමට පත් කළ හැකි බව ද එම වාර්තාව සඳහන් කරයි.
දැනට පවතින ප්‍රධානතම බාධකය වන්නේ වරාය පරිශ්‍රයන්හි අවශ්‍ය විදුලි ආරෝපණ යටිතල පහසුකම් නොමැතිකමයි. එහෙත් යුරෝපා සංගමය විසින් 2030 වන විට වරාය තුළදී මගී සහ බහාලුම් නෞකා සඳහා විදුලිය භාවිත කිරීම අනිවාර්ය කිරීමට සැලසුම් කර තිබේ. දැනටමත් ටලින් සහ හෙල්සින්කි වැනි වරායන් සිය නෞකා සඳහා ගොඩබිම සිට විදුලිය ලබා දීමේ පද්ධති (Onshore power supply) ස්ථාපනය කර ඇති අතර, 2026 වසරේ මුල් භාගයේදී ටලින් සහ හෙල්සින්කි අතර පළමු දෙමුහුන් (Hybrid) තාක්ෂණික නෞකාව ධාවනයට එක් කිරීමට ද නියමිතය.
















