මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ලෝක වෙළඳපොළේ බලශක්ති මිල ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින පසුබිමක, ජර්මනියේ එක් කුඩා ගම්මානයක් සිය ස්වයංපෝෂිත පුනර්ජනනීය බලශක්ති පද්ධතිය හරහා එම අර්බුදයට සාර්ථකව මුහුණ දෙමින් සිටින බව වාර්තා වේ.
බර්ලින් නුවරට නිරිත දෙසින් පිහිටි 130ක පමණ ජනගහනයක් සහිත ෆෙල්ඩ්හයිම් (Feldheim) ගම්මානය, 2010 වසරේ සිටම බලශක්තියෙන් ස්වයංපෝෂිත වූවකි. සුළං ටර්බයින, සූර්ය පැනල සහ ජෛව වායුව (Biogas) මගින් ක්‍රියාත්මක වන තමන්ගේම විදුලි සහ තාප ජාලයක් මෙම ගම්මානය සතුය. “ලෝකයේ අනෙක් රටවල කුමක් සිදු වුවද, අපගේ විදුලි පහන් දැල්වීම පිළිබඳව අපට ගැටලුවක් නැත,” යනුවෙන් එහි හිටපු නගරාධිපති මයිකල් ක්නේප් (Michael Knape) පවසා තිබේ.
ෆොසිල ඉන්ධන සහ න්‍යෂ්ටික බලශක්තියෙන් බැහැරව ජර්මනිය දියත් කර ඇති බලශක්ති සංක්‍රාන්ති ව්‍යාපෘතියට (Energy transition) මෙම ගම්මානය ලෝකයටම කදිම ආදර්ශයක් සපයයි. තවද, ජර්මනියේ සමස්ත සූර්ය බලශක්ති උත්පාදනය ද පසුගියදා ගිගාවොට් 47.8ක වාර්තාගත මට්ටමකට ඉහළ ගොස් ඇති බව ද සඳහන් වේ.














