2026 වසරේ ඇමෙරිකාව, කැනඩාව සහ මෙක්සිකෝව යන රටවල සත්කාරකත්වයෙන් පැවැත්වීමට නියමිත ලෝක කුසලාන පාපන්දු තරගාවලිය සඳහා ප්‍රමුඛ පෙළේ විනිසුරුවන් ලෙස මයිකල් ඔලිවර් සහ ඇන්තනි ටේලර් තෝරාගෙන ඇති බව FIFA සංවිධානය නිවේදනය කර තිබේ. මොවුන් දෙදෙනාම මීට පෙර 2022 කටාර් ලෝක කුසලානයේදී ද විනිසුරුවන් ලෙස කටයුතු කර ඇති අතර මෙවර ඔවුන් සිය දෙවන ලෝක කුසලාන අත්දැකීම සඳහා සූදානම් වෙති. මෙවර රටවල් 48ක් සහභාගී වන බැවින් ලෝක කුසලාන ඉතිහාසයේ විශාලතම විනිසුරු කණ්ඩායම වන “Team One” එනම් විනිසුරුවන් 52ක්, සහාය විනිසුරුවන් 88ක් සහ VAR නිලධාරීන් 30ක් තරගාවලියට එක්වීමට නියමිතය. එංගලන්තය නියෝජනය කරමින් ඔලිවර් සහ ටේලර්ට අමතරව සහාය විනිසුරුවන් ලෙස ගැරී බෙස්වික්, ඇඩම් නන්, ස්ටුවර්ට් බර්ට් සහ ජේම්ස් මේන්වේරින් යන සිව්දෙනා ද තේරී පත්ව සිටින අතර වීඩියෝ සහාය විනිසුරු (VAR) ලෙස ඕස්ට්‍රේලියානු ජාතික ජැරඩ් ගිලට් ද එක්වනු ඇත.
මෙවර විනිසුරුවරියන් හය දෙනෙකු තේරී පත්ව ඇති අතර ඉන් දෙදෙනෙකු වන ඇමෙරිකාවේ ටෝරි පෙන්සෝ සහ මෙක්සිකෝවේ කැටියා ගාර්සියා ප්‍රධාන විනිසුරුවන් ලෙස කටයුතු කිරීමට නියමිත බව FIFA පවසයි. පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ ප්‍රථම වතාවට විනිසුරුවන් සඳහා සිරුරේ සවිකළ කැමරා (Body Cameras) භාවිතා කිරීමට තීරණය කර ඇති අතර එමගින් ප්‍රේක්ෂකයන්ට ක්‍රීඩා පිටියේ තීරණ ගන්නා ආකාරය විනිසුරුවරයාගේ කෝණයෙන් නැරඹීමට අවස්ථාව ලැබෙනු ඇත. පියර්ලූගී කොලීනාගේ ප්‍රධානත්වයෙන් යුත් FIFA විනිසුරු කමිටුව පවසන්නේ මෙම නිලධාරීන් වසර තුනක දැඩි පරීක්ෂණ ක්‍රියාවලියකින් පසු තෝරාගත් ලොව දක්ෂතම විනිසුරුවන් පිරිසක් බවයි. ලබන මාසයේදී මියාමි නුවර පැවැත්වෙන විශේෂ පුහුණු සම්මන්ත්‍රණයකින් පසුව ඔවුන් තරගාවලිය සඳහා සම්පූර්ණයෙන් සූදානම් වනු ඇත.














