රාජගිරිය ප්‍රදේශයේ බලපත්‍ර නොමැතිව ‘ස්පා’ (Spa) ආයතන ලෙස පෙනී සිටිමින් නීති විරෝධී ගණිකා නිවාස තුනක් පවත්වාගෙන ගිය කළමනාකරුවන්ට රුපියල් එක්ලක්ෂ පනස්දහසක දඩ මුදලක් ගෙවන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නුවන් කෞශල්‍ය මහතා අද (26) නියෝග කළේය. වැලිකඩ පොලිසිය විසින් සිදු කරන ලද වැටලීමකදී අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය පනවන ලදී.
මෙහිදී එක් ආයතනයක් සඳහා රුපියල් පනස්දහස බැගින් ආයතන තුනට අදාළව මෙම දඩ මුදල් නියම විය. මීට අමතරව, අදාළ ස්ථානවල ගණිකා වෘත්තියේ යෙදී සිටි බවට චෝදනා ලැබූ සැකකාරියන් හත්දෙනෙකු ද අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර, ඔවුන් එක් අයෙකුට රුපියල් සියය බැගින් වූ දඩ මුදල් මත මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා පියවර ගත්තේය.
පොලිසිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, රාජගිරිය අවට ප්‍රදේශයේ දීර්ඝ කාලයක සිට ඉතා සූක්ෂ්ම ලෙස මෙම ස්ථාන පවත්වාගෙන ගොස් ඇති බවයි. ස්පා මුවාවෙන් සිදු කෙරෙන මෙවැනි නීති විරෝධී ජාවාරම් මැඩලීම සඳහා ඉදිරියටත් දැඩි ලෙස වැටලීම් ක්‍රියාත්මක කරන බව වැලිකඩ පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.














