ධීවර ක්ෂේත්‍රයට අවශ්‍ය ඉන්ධන තොග නිසි පරිදි කළමනාකරණය කරමින් ධීවර ප්‍රජාව වෙත ලබාදීමට අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බව ධීවර, ජලජ සම්පත් සහ සාගර සම්පත් අමාත්‍යංශයේ ලේකම් බී.කේ. කෝලිත කමල් ජිනදාස මහතා අද (30) ප්‍රකාශ කළේය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ බහුදින ධීවර යාත්‍රා 5,000කට ආසන්න ප්‍රමාණයකට සහ ඩීසල් භාවිත කරන එක්දින යාත්‍රා 900ක් සඳහා අවශ්‍ය ඉන්ධන ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හරහා අඛණ්ඩව සැපයීමට කටයුතු යොදා ඇති බවයි. බහුදින යාත්‍රා සඳහා මුහුදු ගමන ආරම්භ කිරීමට පෙර මාර්ගගත ක්‍රමයට ලබාගන්නා තොරතුරු පත්‍රිකාව ප්‍රාදේශීය ධීවර පරීක්ෂකවරයාගේ අනුමැතිය සහිතව ඉදිරිපත් කිරීමෙන් වරකට අවශ්‍ය වන ඩීසල් ලීටර් 8,000ක ප්‍රමාණය ලබාගත හැකිය.
භූමිතෙල් සහ පෙට්‍රල් භාවිත කරන එක්දින ධීවර යාත්‍රා 35,000ක් පමණ ලියාපදිංචි වී ඇති අතර එම යාත්‍රා සඳහා එන්ජිම පණගැන්වීමට අවශ්‍ය වන පෙට්‍රල් ලීටර් 2ක ප්‍රමාණය දිනකට එක් පුද්ගලයෙකුට ලබාදීමට කටයුතු කර තිබේ. අවශ්‍ය වන භූමිතෙල් ප්‍රමාණය ද අදාළ ප්‍රදේශයේ ලියාපදිංචි ඉන්ධන පිරවුම්හල් මගින් ලබාගත හැකි බව ලේකම්වරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය. ඉන්ධන ලබාගැනීමේදී යම් ගැටලුවක් මතු වුවහොත් පැය 24 පුරා ක්‍රියාත්මක 011-4323389 හෝ 011-4341067 යන දුරකථන අංක ඇමතීමෙන් අවශ්‍ය සහාය ලබාගත හැකි බව ද අමාත්‍යංශය දැනුම් දෙයි.














