මහව මූලස්ථාන පොලිසියේ දූෂණ මර්දන අංශයේ නිලධාරීන් පිරිසක් මහව ප්‍රදේශයේ නිවසක සිදුකළ කසිප්පු වැටලීමකදී, එහි සිටි ආබාධිත හිටපු යුද හමුදා සෙබළෙකු පොලිස් සැරයන්වරයෙකුගේ අත සපා කා මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ල කර තිබේ. සැකකරු සන්තකයේ තිබී කසිප්පු බෝතල් 25ක් අඩංගු බූලියක් පොලිස් භාරයට ගෙන ඇති අතර, සැරයන්වරයාට පහර දී පලා යාමට උත්සාහ කළ සැකකරුව පොලිසිය විසින් ලුහුබැඳ ගොස් අත්අඩංගුවට ගෙන ඇත. තුවාල ලැබූ පොලිස් සැරයන්වරයා මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.
අත්අඩංගුවට ගත් සැකකරු වෛද්‍ය නිර්දේශ මත නිවසේ රැඳී සිටින ආබාධිත සෙබළෙකු වන අතර, ඔහුට එරෙහිව රාජකාරියට බාධා කිරීම, සාපරාධී බලහත්කාරය පෑම සහ තුවාල සිදු කිරීම යන චෝදනා යටතේ නඩු පැවරීමට නියමිතය. මහව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.














