ඔස්ට්‍රේලියානු ග්‍රෑන්ඩ් ප්‍රී තරගාවලියත් සමඟ ආරම්භ වන මෙවර ෆෝමියුලා 1 තරග වාරය සඳහා ඉදිරිපත් කර ඇති මෝටර් රථ, ඉතිහාසයේ සිදු වූ විශාලතම නීති සංශෝධනයන්ට යටත්ව නිර්මාණය කර තිබේ. බැලූ බැල්මට පැරණි රථවලට සමානකමක් දැක්වුවද, මෙම නව මෝටර් රථවල එන්ජින් සැලසුම, වායුගති විද්‍යාත්මක දර්ශනය (Aerodynamics), ඉන්ධන සහ ටයර් පවා සම්පූර්ණයෙන්ම වෙනස් කර ඇත. විශේෂයෙන්ම මෙවර තරගාවලියේදී අපද්‍රව්‍ය මගින් නිපදවන කාබන් මධ්‍යස්ථ (Carbon-neutral) තිරසාර ඉන්ධන භාවිත කිරීම ලෝක මෝටර් රථ ක්‍රීඩාවේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස සැලකේ. අවුඩි (Audi), ජෙනරල් මෝටර්ස් සහ ෆෝඩ් වැනි ප්‍රබල සමාගම් පවා මෙම නව නීති රීති නිසාම ෆෝමියුලා 1 පිටියට පිවිසීමට තීරණය කර තිබේ.
මෙවර එන්ජින්වල විදුලි බලය උත්පාදනය කිරීමේ හැකියාව තෙගුණයකින් වැඩි කර ඇති අතර, ඉන්ධන දහනය සහ විදුලි බලය අතර අනුපාතය දළ වශයෙන් සියයට 50 බැගින් වන සේ සමතුලිත කර ඇත. මීට පෙර ක්‍රීඩකයින්ට අපහසුතාවයක් වූ ‘ග්‍රවුන්ඩ් ඉෆෙක්ට්’ (Ground effect) තාක්ෂණය ඉවත් කර නව ‘ස්ටෙප් ප්ලේන්’ (Step-plane) ක්‍රමවේදය හඳුන්වා දී ඇති අතර, ඒ හරහා මෝටර් රථ වඩාත් සැහැල්ලු සහ හැසිරවීමට පහසු වන සේ නිමවා තිබේ. එසේම වේගය වැඩි කිරීම සහ බලශක්තිය කළමනාකරණය සඳහා ඉදිරිපස සහ පසුපස තටුවල (Wings) චලනය විය හැකි ‘ස්ට්‍රේට් ලයින්’ (Straight-line) මෝඩය හඳුන්වා දී ඇති අතර, පැරණි DRS ක්‍රමවේදය වෙනුවට නව ‘ඕවර්ටේක්’ (Overtake) මෝඩය මෙවර තරගාවලියට එක් වනු ඇත.














