දේවගැතිවරයෙකු ලෙස පෙනී සිටිමින් “සුහද සේවා ජන සංවර්ධන සමිතිය” නමින් රජයේ ලියාපදිංචි නොකළ ආයතනයක් පවත්වාගෙන යමින් මහජනතාවගෙන් මුදල් වංචා කළ පුද්ගලයෙකු මාරවිල පොලිසිය විසින් ඊයේ (24) සවස අත්අඩංගුවට ගෙන තිබේ. නාත්තන්ඩිය, දියබුබුලාගාර ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි මෙම සැකකරු, “දිළිඳු ජන සහන යෝජනා ක්‍රමය” නමින් ව්‍යාපෘතියක් හඳුන්වා දෙමින් ප්‍රදේශවාසීන් රවටා ඇති බව විමර්ශනවලදී හෙළි වී ඇත.
ආයතනයේ තැන්පත් කරන මුදල් වසරක් අවසානයේ දස ගුණයකින් වැඩි කර නැවත ලබා දෙන බව පවසමින් සැකකරු මෙම මූල්‍ය වංචාව මෙහෙයවා ඇති අතර, ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කිහිපයක්ම ලැබී තිබුණි. මාරවිල පොලිසිය විසින් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව, මහේස්ත්‍රාත්වරයා ලබාදුන් නියෝගයකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත. අත්අඩංගුවට ගත් සැකකරු අද දින මාරවිල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.














