වත්මන් රජයේ නිසි ආර්ථික කළමනාකරණය හේතුවෙන් රට තුළ ඉන්ධන අර්බුදයක් ඇති වීමට ඉඩ නොතබා පාලනය කර ඇති බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා පවසයි. අද (16) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, වෙනත් රජයක් බලයේ තිබුණේ නම් පවතින ගෝලීය තත්ත්වය හමුවේ මෙරට ජනතාවට අද වන විටත් ඉන්ධන පෝලිම්වල ලගින්නට සිදුවන බවයි.
නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේ ඉදිරි අගෝස්තු මාසය දක්වා රටට අවශ්‍ය ඉන්ධන ඇණවුම් මේ වන විටත් ලබා දී අවසන් බැවින්, ඉන්ධන හිඟයක් පිළිබඳව ජනතාව අනියත බියක් ඇති කරගත යුතු නොමැති බවයි. රජය ඉතා ශක්තිමත් කළමනාකරණ පිළිවෙතක් අනුගමනය කරමින් ජනතාවට අවශ්‍ය පහසුකම් අඛණ්ඩව සැලසීමට කටයුතු කරමින් සිටින බව ද ඔහු මෙහිදී පවසා සිටියේය.














