පවතින තෙල් සහ ගෑස් මිල ඉහළ යාම හමුවේ රජය අනුගමනය කරන ක්‍රියාකලාපය සහ ජනාධිපතිවරයාගේ ප්‍රකාශ දැඩි දෝෂදර්ශනයට ලක්ව තිබේ. විපක්ෂයේ සිටියදී තෙල් මිල වැඩිවීමට හේතුව වරායට ගොඩබෑමෙන් පසු අය කරන අධික බදු බවත්, එම වාසිය ඇමතිවරුන් ලබාගන්නා බවත් පැවසූ කණ්ඩායම්, අද බලයට පත්වූ පසු මැදපෙරදිග යුදමය වාතාවරණය පිට වගකීම පටවා නිදහස් වීමට උත්සාහ කරන බවට චෝදනා එල්ල වේ.
විශේෂයෙන්ම ඊයේ පැවති විද්වත් හමුවකදී ජනාධිපතිවරයා විසින් තෙල් මිල පාලනය කිරීමට තමා සතුව තෙල් ළිං නොමැති බවට කළ ප්‍රකාශය විවේචකයන්ගේ දැඩි අවධානයට යොමු වී ඇත. බලයට පත්වීමට පෙර පැවසූ කතා සහ වර්තමාන ප්‍රකාශ හාත්පසින්ම වෙනස් බවත්, තෙල් ළිං නොමැති බව පැවසිය යුතුව තිබුණේ බලයට පත්වීමට පෙර බවත් මෙහිදී අවධාරණය කෙරේ. පෞද්ගලික අංශයට ව්‍යාපාරික ලාභ ලබාදීම රජයේ වගකීමක් බවට ජනාධිපතිවරයා කරන ප්‍රකාශය, මීට පෙර ඔවුන් දැරූ මතවාදයන්ට පටහැනි බව පෙනී යයි.
තෙල් මිල තීරණය කරන්නේ රජය නොව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) බව පැවසීම “පට්ටපල් බොරුවක්” ලෙස හඳුන්වන විවේචකයන් පෙන්වා දෙන්නේ, තෙල් මිල සමස්ත වෙළඳපොළටම බලපාන බැවින් ආහාර ඇතුළු සෑම දෙයකම මිල ඉහළ ගොස් ජනතාවට දරාගත නොහැකි පීඩනයක් එල්ල වී ඇති බවයි. ලෝක වෙළඳපොළේ මිල බැරලයක් ඩොලර් 100 ඉක්මවනු ඇතැයි යන පූර්ව නිගමනය මත මිල ඉහළ දැමූ රජය, මේ වන විට ජනතාව තැබූ විශ්වාසය කඩකර ඇති බවට ද චෝදනා නැඟේ. මෙම පරිපාලන දුර්වලතා හමුවේ, රජයට රට කරවීමට නොහැකි නම් එය “පිටකොටුවේ මුදලාලි කෙනෙකුට” පවරා ඉවත් වීම වඩාත් සුදුසු බවට ද දැඩි මත පළ වේ.
















