ඉන්ධන කෝටාව ලබා ගැනීම සඳහා අවශ්‍ය QR කේතය ලබා ගැනීමේදී පසුගිය දිනවල පැවති තාක්ෂණික ගැටලු මේ වන විට සම්පූර්ණයෙන් විසඳා ඇති බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ උපදේශක සුමුදු රත්නායක මහතා පවසයි. ඊයේ (මාර්තු 19) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු අවධාරණය කළේ වාහන හිමිකම වෙනස් වූ පිරිස්වලට දැන් පහසුවෙන් නව ලියාපදිංචි කිරීම් සිදු කළ හැකි බවයි.
වාහනයේ හිමිකම සහ දුරකතන අංකය වෙනස් වී නොමැති නම් පැරණි QR කේතයම තවදුරටත් භාවිත කළ හැකිය. එහෙත් නව වාහනයක් මිලදී ගත් හෝ හිමිකම වෙනස් කළ පුද්ගලයන්ට පැරණි දත්ත පද්ධතියෙන් ඉවත් කර නව දුරකතන අංකය යටතේ නැවත ලියාපදිංචි වීමට අවස්ථාව සලසා දී තිබේ. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත සහ පද්ධතියේ තිබූ දත්ත මිලියන 2.7ක් පමණ පසුගිය දින දෙක තුළ යාවත්කාලීන කර ඇති බැවින් නව ලියාපදිංචි කිරීම් දැන් වඩාත් කඩිනම් වී ඇත.
ලියාපදිංචි වීම සඳහා www.fuelpass.gov.lk නිල වෙබ් අඩවිය පමණක් භාවිත කරන ලෙසත් ව්‍යාජ වෙබ් අඩවි හරහා තොරතුරු ලබා දීමෙන් වළකින ලෙසත් රත්නායක මහතා දැනුම් දෙයි. වෙනත් පුද්ගලයෙකුගේ QR කේතයක් භාවිත කිරීම පරිගණක නීතිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් වන අතර ලියාපදිංචි වීමේදී සහය අවශ්‍ය නම් 1919 ක්ෂණික දුරකතන අංකය ඇමතිය හැකිය. ඉන්ධන පිරවුම්හල්වල කටයුතු සඳහා ජාතික තරුණ සේවා සභාවේ සාමාජිකයන්ගේ සහය ද ඉදිරියේදී ලබා ගැනීමට නියමිතය.














