ගනේමුල්ල සංජීවගේ සමීපතමයෙකු වන, දැනට විදෙස්ගතව සිටින මනෝජ් සුරංග නොහොත් ‘බටුවත්ත චාමර’ නමැත්තාගේ බිරිඳට අයත් ජා-ඇළ වැලිගම්පිටිය ප්‍රදේශයේ පිහිටි රුපියල් ලක්ෂ 400ක් වටිනා නිවසක් තහනම් කිරීමට නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය පියවර ගෙන ඇත. මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදලින් මෙම නිවස මිලදී ගෙන ඇති බවට ලද තොරතුරු මත දින 7ක කාලයක් සඳහා මුලින්ම මෙම තහනම පනවා තිබේ.
මෙම නිවස මීට මාස දෙකකට පමණ පෙර සිට පිරිසක් විසින් කුලී පදනම මත ලබාගෙන වැඩිහිටි නිවාසයක් ලෙස පවත්වාගෙන ගොස් ඇති අතර, තහනම් නියෝගයත් සමඟ එහි සිටි වැඩිහිටියන් 9 දෙනෙකු සහ සාත්තු සේවිකාවන් 4 දෙනෙකුට ඉන් පිටව යාමට සිදුව ඇත. බටුවත්ත චාමරගේ බිරිඳ වන චතුරිකා වීරසූරිය පදිංචිව සිටි මෙම නිවස ඉලක්ක කර ගනිමින් මීට පෙර අවස්ථා 3කදී වෙඩි තැබීම් සිදු වී ඇති අතර, අවසන් වරට ඉකුත් 7 වැනිදා ද මෙහි පදිංචිකරුවන් බිය වැද්දීම සඳහා වෙඩි තැබීමක් වාර්තා විය.
නීතිවිරෝධී වත්කම් විමර්ශන අංශය සඳහන් කරන්නේ මෙම දේපළ සම්බන්ධයෙන් මහාධිකරණය වෙත කරුණු වාර්තා කර තහනම් කිරීමේ නියෝගය තවදුරටත් දීර්ඝ කිරීමට කටයුතු කරන බවයි. පාතාල කල්ලි සාමාජිකයන්ගේ නීතිවිරෝධී වත්කම් රජයට පවරා ගැනීමේ “යුක්තිය” මෙහෙයුමට සමගාමීව මෙම පියවර ගෙන ඇත.














