2025 වර්ෂයට අදාළ අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය හෙට (17) දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 3,545කදී ආරම්භ වීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මෙවර විභාගය සඳහා පෙනී සිටින මුළු අපේක්ෂකයින් සංඛ්‍යාව 451,463කි. හෙට සිට පෙබරවාරි 26 වැනිදා දක්වා විභාගය පැවැත්වෙන අතර, සියලුම අපේක්ෂකයින් විභාගය ආරම්භ වීමට අවම වශයෙන් පැයකට පෙර තමන්ට නියමිත මධ්‍යස්ථාන වෙත පැමිණිය යුතු බව විභාග කොමසාරිස් ජනරාල් ඒ. කේ. එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය අවධාරණය කර සිටියි.
විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ අපේක්ෂකයින්ට බාධාවක් නොවන අයුරින් කටයුතු කරන ලෙස සියලුම පාර්ශවයන්ගෙන් ඉල්ලීමක් කෙරෙන අතර, කිසියම් හදිසි ආපදා තත්ත්වයක් ඇති වුවහොත් ඒ සඳහා මුහුණ දීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ එක්ව විශේෂ වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කර ඇත. මේ අතර, රාගම වෛද්‍ය පීඨයේ මහාචාර්ය විශේෂඥ මනෝ වෛද්‍ය මියුරු චන්ද්‍රදාස මහතා උපදෙස් දෙන්නේ විභාගයට පෙර දිනය වන අද, සිසුන් දැඩි මානසික පීඩනයකින් තොරව සැහැල්ලුවෙන් පසුවීම ඔවුන්ගේ මතක ශක්තියට සහ සාර්ථකත්වයට බෙහෙවින් ඉවහල් වන බවයි.
විභාගය සඳහා අවශ්‍ය ජාතික හැඳුනුම්පත හෝ වලංගු ගමන් බලපත්‍රය වැනි අනන්‍යතා ලේඛන සහ ප්‍රවේශ පත්‍රය සුරක්ෂිතව තබා ගන්නා ලෙසත්, විභාග මධ්‍යස්ථානය තුළට ස්මාර්ට් ඔරලෝසු හෝ ජංගම දුරකථන රැගෙන ඒම සපුරා තහනම් බවත් විභාග දෙපාර්තමේන්තුව සිහිපත් කරයි. විභාගය සම්බන්ධයෙන් කිසියම් ගැටලුවක් පවතින්නේ නම් 1911 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ විමසීම් කළ හැකිය.














