ඊලෝන් මස්ක්ට අයත් xAI සමාගමේ සේවය කරන තාක්ෂණික ශිල්පියෙකු වන ගිරි කුන්කෝරෝ තමන් එකදිගට පැය 19 ක් වැඩ කළ බවත්, ඉන් තමන් වඩාත් ප්‍රබෝධමත් වූ බවත් සමාජ මාධ්‍ය හරහා ප්‍රකාශ කර තිබේ. ඔහුගේ මෙම ප්‍රකාශයත් සමඟ වර්තමාන රැකියා සංස්කෘතිය සහ සෞඛ්‍යයට අහිතකර ලෙස වැඩ කිරීම (Hustle Culture) පිළිබඳව අන්තර්ජාලය තුළ දැඩි විවාදයක් හටගෙන ඇති බව වාර්තා වේ.
ඔහු සිය සටහන තබමින් කියා සිටියේ අලුයම 5.30 වන තෙක් තමන් ලැප්ටොප් පරිගණකය ක්‍රියාත්මක කරමින් සිටි බවයි. කෙසේ වෙතත්, බොහෝ පිරිසක් ඔහුට ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ මෙලෙස අධික ලෙස වැඩ කිරීම මානසික ආතතියට සහ ශාරීරික බිඳවැටීමට හේතු වන බැවින් එය පෙන්විය යුතු දක්ෂතාවයක් නොවන බවයි. තවත් පිරිසක් මෙය ඊලෝන් මස්ක්ගේ ප්‍රසාදය දිනා ගැනීම සඳහා කරන ලද ප්‍රයත්නයක් ලෙස ද විවේචනය කර තිබුණි.













