වත්මන් මැදපෙරදිග යුදමය වාතාවරණය හමුවේ හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන තෙල් ප්‍රවාහනය අඩාල වීමත් සමඟ ලෝකයේ බලශක්ති සුරක්ෂිතතාවය පිළිබඳ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ. විශේෂඥයන් පෙන්වා දෙන්නේ 2022 වසරේ සිට පුනර්ජනනීය බලශක්තිය සඳහා ආයෝජනය කළ රටවල් මෙම අර්බුදයට සාර්ථකව මුහුණ දෙන අතර, යුරෝපය වැනි කලාප තවමත් ෆොසිල ඉන්ධන මත රැඳී සිටීම නිසා දැඩි පීඩනයකට ලක්ව ඇති බවයි.
ලොව වැඩිම ජනගහනයක් සහිත චීනය සහ ඉන්දියාව සිය බලශක්ති අවශ්‍යතාවලින් සැලකිය යුතු ප්‍රමාණයක් සූර්ය සහ සුළං බලශක්තිය වෙත යොමු කර ඇත. චීනය මේ වන විට පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ලොව පෙරමුණ ගෙන සිටින අතර එරට වාහන 10කින් එකක්ම විදුලි වාහන (EV) වේ. ඉන්දියාව ද සූර්ය බලශක්තිය වේගයෙන් ව්‍යාප්ත කරමින් සිටින අතර එය වත්මන් ඉන්ධන හිඟය හමුවේ එරටට යම් සහනයක් ලබා දී තිබේ. කෙසේ වෙතත්, ඉන්දියාවේ පවතින උයන ගෑස් (Cooking Gas) හිඟය නිසා ජනතාව විදුලි උදුන් (Induction cooktops) වෙත යොමු වීමේ ප්‍රවණතාවක් ද දක්නට ලැබේ.
2022 රුසියානු-යුක්රේන යුද්ධයෙන් පසු යුරෝපීය රටවල් පුනර්ජනනීය බලශක්තියට යොමු වනු ඇතැයි අපේක්ෂා කළ ද, ඔවුන් සිදු කළේ රුසියාව වෙනුවට ඇමෙරිකාව වැනි රටවලින් වෙනත් ෆොසිල ඉන්ධන මාර්ග සොයා ගැනීම පමණක් බව විවේචකයෝ පවසති. නිදසුනක් ලෙස ජර්මනිය ඇමෙරිකානු LNG ගෑස් ආනයනය සඳහා නව පර්යන්ත ඉදිකිරීමට කටයුතු කළේය. ජපානය ද සිය බලශක්ති අවශ්‍යතාවයෙන් පුනර්ජනනීය බලශක්තිය ලබා ගන්නේ 11%ක් වැනි සුළු ප්‍රතිශතයකි.
බංග්ලාදේශය, තායිලන්තය සහ අප්‍රිකානු රටවල් ඉහළ යන ඉන්ධන මිල හමුවේ දැඩි අර්බුදයකට ලක්ව ඇත. බංග්ලාදේශය විදුලිය ඉතිරි කිරීම සඳහා විශ්ව විද්‍යාල වසා දැමීමට පවා පියවර ගෙන තිබේ. වියට්නාමය සහ පකිස්ථානය වැනි රටවල් පසුගිය වසර කිහිපය තුළ සූර්ය බලශක්තිය සඳහා කළ ආයෝජන හේතුවෙන් ඩොලර් බිලියන ගණනක ආනයන වියදම් ඉතිරි කර ගැනීමට සමත්ව ඇත. ඉතියෝපියාව 2024 වසරේ සිට පෙට්‍රල් සහ ඩීසල් වාහන තහනම් කරමින් සම්පූර්ණයෙන්ම විදුලි වාහන ප්‍රවර්ධනය කිරීමට ගත් තීරණය මෙහිදී කැපී පෙනේ.













