පසුගිය පෙබරවාරි 28 වනදා ඇමෙරිකාව සහ ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කළ ප්‍රහාරත් සමඟ ආරම්භ වූ යුදමය වාතාවරණය හේතුවෙන් ලොව පුරා අවම වශයෙන් රටවල් 85ක පමණ ඉන්ධන මිල ඉහළ ගොස් තිබේ. ගෝලීය ඉන්ධන මිල දර්ශකයන්ට (Global Petrol Prices) අනුව, මෙලෙස මිල ඉහළ ගිය රටවල් අතරින් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ වියට්නාමයට වන අතර එහි පෙට්‍රල් මිල 50% කට ආසන්න ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇත.
හොමුස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන තෙල් ප්‍රවාහනයට එල්ල වී ඇති බාධා හේතුවෙන් ආසියානු කලාපයේ රටවල් රැසක් දැඩි අර්බුදයකට මුහුණ පා සිටී. ලාඕසයේ මිල 33% කින් ද, කාම්බෝජයේ 19% කින් ද ඉහළ ගොස් ඇති අතර ප්‍රධාන පෙළේ ආර්ථිකයන් වන ඕස්ට්‍රේලියාව සහ ඇමෙරිකාව ද පිළිවෙළින් 18% සහ 17% ක මිල ඉහළ යාමක් වාර්තා කර ඇත. ඇමෙරිකාවේ කැලිෆෝනියා වැනි ප්‍රාන්තවල පෙට්‍රල් ගැලුමක මිල ඩොලර් 5 සීමාව ද ඉක්මවා ගොස් තිබේ.
ශ්‍රී ලංකාව ද මෙම ගෝලීය තත්ත්වයට සාපේක්ෂව පසුගිය මාර්තු 10 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කළේය. ඒ අනුව පෙට්‍රල් සහ ඩීසල් ලීටරයක මිල රුපියල් 22 සිට 25 දක්වා ප්‍රමාණයකින් ඉහළ දැමූ අතර, එය දළ වශයෙන් 8% කට අධික මිල වැඩිවීමකි. ඉන්ධන හිඟයක් ඇතිවේ යැයි බියෙන් ජනතාව තොග රැස්කිරීම පාලනය කිරීම සඳහා මෙම පියවර ගත් බව රජය සඳහන් කරයි. ජපානය, දකුණු කොරියාව සහ පකිස්ථානය වැනි රටවල් ද මේ වන විට බලශක්ති අර්බුදය කළමනාකරණය සඳහා හදිසි ක්‍රියාමාර්ග හඳුන්වා දී ඇත.














