ඉරානය විසින් හෝර්මුස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීමට දරන උත්සාහය සහ බලශක්ති මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් එල්ල කරන ප්‍රහාර දැඩි ලෙස හෙළා දකිමින් ලොව ප්‍රබල රටවල් රැසක් ඒකාබද්ධ ප්රකාශනයක් නිකුත් කර තිබේ. බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, නෙදර්ලන්තය, ජපානය සහ කැනඩාව යන රටවල නායකයන් එක්ව නිකුත් කළ මෙම නිවේදනය මගින් අවධාරණය කරන්නේ, ජාත්‍යන්තර නාවික ගමනාගමනයට බාධා කිරීම සහ බලශක්ති සැපයුම් දාමයන් අඩාල කිරීම ගෝලීය සාමයට මෙන්ම ආරක්ෂාවට එල්ල වූ බරපතල තර්ජනයක් බවයි.
පර්සියානු බොක්ක ආශ්‍රිතව නිරායුධ වාණිජ නෞකාවලට සහ සිවිල් යටිතල පහසුකම්වලට එල්ල කරන බෝම්බ, ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර වහාම නතර කරන ලෙස ලෝක නායකයෝ ඉරානයෙන් ඉල්ලා සිටිති. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ 2817 අංක දරන යෝජනාවට අනුකූලව කටයුතු කරන ලෙසත්, හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා නෞකාවල ආරක්ෂිත ගමනාගමනය තහවුරු කිරීමට මැදිහත් වීමට තමන් සූදානම් බවත් මෙම රටවල් ප්‍රකාශ කර ඇත. මෙය හුදෙක් කලාපීය ගැටුමකට එහා ගිය ලෝක බලවතුන් සෘජුව මැදිහත් වන තත්ත්වයක් දක්වා වර්ධනය වෙමින් පවතී.
පවතින බලශක්ති අර්බුදය හමුවේ ලෝක වෙළෙඳපොළ ස්ථාවර කිරීම සඳහා උපායමාර්ගික පෙට්‍රෝලියම් සංචිත මුදා හැරීමට ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය (IEA) ගත් තීරණය මෙම රටවල් පිළිගෙන තිබේ. ඉරානයේ මෙම ක්‍රියාකලාපය හේතුවෙන් ලොව පුරා වෙසෙන වඩාත් අවදානමට ලක්විය හැකි ජනතාව දැඩි ලෙස පීඩාවට පත්වන බව පෙන්වා දෙන නායකයෝ, ජාත්‍යන්තර නීතියට ගරු කරමින් යාත්‍රා කිරීමේ නිදහස තහවුරු කිරීමට කටයුතු කරන ලෙස සියලුම රාජ්‍යයන්ගෙන් ඉල්ලා සිටිති.














