අමෙරිකානු සහ ඊශ්‍රායල හමුදා එක්ව ඉරානයට එල්ල කළ ප්‍රහාර සහ ඊට පිළිතුරු ලෙස ඉරානය දියත් කළ මිසයිල ප්‍රහාර මාලාව හේතුවෙන් මැදපෙරදිග කලාපය දැඩි යුදමය අර්බුදයකට පත්ව තිබේ. මෙම තත්ත්වය හමුවේ ලෝක වෙළඳපොළේ ප්‍රධාන අංශ කිහිපයක කැපී පෙනෙන වෙනස්කම් සිදුවිය හැකි බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. විශේෂයෙන්ම ගෝලීය තෙල් සැපයුමෙන් 20%ක් ගමන් කරන හෝමුස් සමුද්‍ර සන්ධිය අසල මෙම ගැටුම් පැවතීම ආර්ථික විශ්ලේෂකයන්ගේ දැඩි අවධානයට ලක්ව ඇත.
යුද්ධය දිගුකාලීන වුවහොත් බොරතෙල් බැරලයක මිල ඩොලර් 100 සීමාව දක්වා ඉහළ යා හැකි බවත්, එමගින් ගෝලීය උද්ධමනය 0.7% කින් පමණ ඉහළ යා හැකි බවත් ආර්ථික විශේෂඥයෝ අනාවැකි පළ කරති. දැනටමත් ප්‍රධාන පෙළේ තෙල් සමාගම් හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා සිදු කරන නැව්ගත කිරීම් තාවකාලිකව අත්හිටුවා තිබීම මෙයට ප්‍රධාන හේතුවයි. මීට අමතරව, ලොව සුරක්ෂිතම ආයෝජන ලෙස සැලකෙන රත්රන් සහ රිදී සඳහා ඇති ඉල්ලුම ද ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර, 2026 වසරේ මේ දක්වා රත්රන් මිල 22%ක වාර්තාගත වර්ධනයක් පෙන්වා තිබේ.
අනෙක් අතට, ගුවන් සේවා සහ කොටස් වෙළඳපොළ කෙරෙහි ද මෙම ගැටුම සෘණාත්මකව බලපා ඇත. මැදපෙරදිග ගුවන් කලාපය වසා දැමීමත් සමඟ ගෝලීය ගුවන් සමාගම් රැසක් සිය ගුවන් ගමන් අවලංගු කර ඇති අතර, එය එම සමාගම්වල කොටස් මිල පහත වැටීමට හේතු වී තිබේ. කෙසේ වෙතත්, යුද උපකරණ නිෂ්පාදනය කරන සමාගම්වල කොටස් සඳහා ඉල්ලුම ඉහළ යාමක් අපේක්ෂා කෙරේ. බිට්කොයින් (Bitcoin) වැනි ක්‍රිප්ටෝ මුදල් ඒකක ද මේ වන විට 2% කින් පමණ පහත වැටී ඇති අතර, ආයෝජකයින් අවදානම් සහගත ආයෝජනවලින් ඉවත් වී ස්විස් ෆ්‍රෑන්ක් වැනි ස්ථාවර මුදල් ඒකක වෙත යොමු වීමේ ප්‍රවණතාවක් දක්නට ලැබේ.














