ඇමරිකාව සහ ඉරානය අතර පැවැති සාම සාකච්ඡා අසාර්ථක වීමෙන් අනතුරුව හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ඉරාන තෙල් නැව් ගමනාගමනය අවහිර කිරීමට ඇමරිකානු නාවික හමුදාව සූදානම් වීමත් සමඟ අද (13) ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල සියයට 8 කින් පමණ ඉහළ ගොස් තිබේ. ඒ අනුව බ්‍රෙන්ට් (Brent) බොරතෙල් බැරලයක මිල ඩොලර් 102.80 දක්වාත් ඇමරිකානු (WTI) බොරතෙල් බැරලයක මිල ඩොලර් 104.88 දක්වාත් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා දිනකට සිදුවන ඉරානයට සම්බන්ධ බැරල් මිලියන 2ක පමණ තෙල් ප්‍රවාහනය මෙම නාවික අවහිරතාවය (Blockade) මගින් සම්පූර්ණයෙන්ම ඇනහිටිනු ඇතැයි බලශක්ති විශේෂඥයෝ පවසති. ඇමරිකානු මධ්‍යම විධානය (CENTCOM) සඳහන් කර ඇත්තේ අද දින ග්‍රීනිච් වේලාවෙන් 14:00 ට මෙම අවහිරතාව ආරම්භ කරන බවයි. මෙලෙස ඉන්ධන මිල සහ ගෑස් මිල ඉහළ යාම නොවැම්බර් මාසයේ පැවැත්වෙන ඇමරිකානු අතුරු මැතිවරණය දක්වාම පැවතිය හැකි බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද පිළිගෙන තිබේ.
මේ අතර සෞදි අරාබිය සිය නැගෙනහිර බටහිර නල මාර්ගයේ (East-West pipeline) ධාරිතාව බැරල් මිලියන 7 දක්වා යථා තත්ත්වයට පත් කර ඇති බව ප්‍රකාශ කර ඇත. කෙසේ වෙතත් ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය පවසන්නේ ඕනෑම යුද නෞකාවක් හෝමුස් සමුද්‍ර සන්ධියට ඇතුළු වීම සටන් විරාමය උල්ලංඝනය කිරීමක් ලෙස සලකා දැඩි ප්‍රහාර එල්ල කරන බවයි. මෙම උණුසුම්කාරී තත්ත්වය හමුවේ ලෝක බලශක්ති සැපයුමට එල්ල වී ඇති තර්ජනය නිසා ඉදිරි දිනවලදී ඉන්ධන මිල තවදුරටත් අස්ථාවර වීමට ඉඩ පවතී.














