අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සමාජ මාධ්‍ය ගිණුමක තමන්ව සහ සිය බිරිඳව අපහාසාත්මක ලෙස නිරූපණය කරමින් පළ වූ වර්ගවාදී වීඩියෝවක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති බැරැක් ඔබාමා වක්‍ර ප්‍රතිචාරයක් දක්වා තිබේ. ‘බ්‍රයන් ටයිලර් කොහෙන්’ (Brian Tyler Cohen) විසින් මෙහෙයවන ලද පොඩ්කාස්ට් වැඩසටහනකට එක්වෙමින් ඔබාමා පවසා ඇත්තේ, රජයේ නිලධාරීන් මින් පෙර පවත්වාගෙන ගිය “විනය” සහ “ගෞරවනීය බව” දැන් දේශපාලනයෙන් ගිලිහී ගොස් ඇති බවයි.
ට්‍රම්ප්ගේ ‘ටෘත් සෝෂල්’ (Truth Social) ගිණුමේ පළ වූ මෙම වීඩියෝව මගින් ඔබාමා සහ මිෂෙල් ඔබාමාව වානරයන් ලෙස නිරූපණය කර තිබූ අතර, ඒ සම්බන්ධයෙන් ඩිමොක්‍රටික් සහ රිපබ්ලිකන් යන පක්ෂ දෙකේම ප්‍රබල විවේචන එල්ල විය. ධවල මන්දිරය මුලින් මෙම විවේචන “ව්‍යාජ කෝපයක්” ලෙස හඳුන්වමින් වීඩියෝව සාධාරණීකරණය කළ ද, පසුව එය කාර්ය මණ්ඩල සාමාජිකයෙකු අතින් වූ වැරදීමක් ලෙස හඳුන්වමින් ඉවත් කර ගැනීමට කටයුතු කළේය.
වීඩියෝව සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඔබාමා, වර්තමාන දේශපාලන කතිකාව පෙර නොවූ විරූ මට්ටමක කුරිරු බවකට ඇද වැටී ඇති බව පෙන්වා දුන්නේය. “සමාජ මාධ්‍ය සහ රූපවාහිනිය තුළ දැන් සිදුවන්නේ ‘විහිළු සංදර්ශනයක්’ (Clown show). තමන් දරන ධුරයට ගෞරවයක් හෝ විනයක් තිබිය යුතු යැයි පෙර සිතූ අය තුළ දැන් ඒ ගැන කිසිදු ලැජ්ජාවක් නැහැ,” යනුවෙන් ඔහු පැවසීය. කෙසේ වෙතත්, ඔබාමා මෙම ප්‍රකාශය කිරීමේදී ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නම සෘජුව සඳහන් නොකිරීමට වගබලා ගත්තේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කළ විට ජනාධිපති ට්‍රම්ප් පවසා ඇත්තේ තමා එම වීඩියෝවේ අදාළ කොටස නොදුටු බවයි. එමෙන්ම ඒ පිළිබඳව සමාව අයැදීමට තමා සූදානම් නැති බවද ඔහු අවධාරණය කළේය. එරට සිටින එකම රිපබ්ලිකන් කළු ජාතික සෙනෙට් සභිකයෙකු වන ටිම් ස්කොට් පවා මෙම වීඩියෝව හඳුන්වා දුන්නේ තමා ධවල මන්දිරයකින් දුටු වඩාත්ම වර්ගවාදී ක්‍රියාව ලෙසයි.















