ලෝකවාසී කිතුණු බැතිමතුන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දුක්ප්‍රාප්තිය සහ කුරුසියේ ඇණ ගැසීම සිහිපත් කරන මහ සිකුරාදා දිනය (Good Friday) අදට යෙදී තිබේ. අළු බදාදා දිනයෙන් ආරම්භ වූ දින 40ක චතාරික සමය තුළ යාච්ඤා කිරීම, උපවාස කිරීම සහ පුණ්‍ය ක්‍රියාවල නිරත වූ බැතිමතුන් අද දිනයේ දිවයින පුරා පිහිටි දේවස්ථානවල පැවැත්වෙන විශේෂ ආගමික වතාවත්වලට එක්වීමට නියමිතය. ක්‍රිස්තුස් වහන්සේ මිනිස් සංහතියේ පව් උදෙසා කුරුසියේ දිවි පිදීම මෙදින බැතියෙන් මෙනෙහි කරනු ලබයි.
අද දහවල් කාලයේදී සෑම කතෝලික දේවස්ථානයකම පාහේ පැය තුනක විශේෂ දේව මෙහෙයක් පැවැත්වෙන අතර එහිදී ක්‍රිස්තුස් වහන්සේ කුරුසිය මත සිට ප්‍රකාශ කළ අවසාන වදන් හත මෙනෙහි කිරීම සිදු කෙරේ. මීට අමතරව කුරුසියේ මඟ යාච්ඤාව සහ ස්වයං දමනය ප්‍රගුණ කරමින් බැතිමතුන් අද දිනය ශුද්ධ වූ දිනයක් ලෙස සමරනු ලබයි. මහ සිකුරාදා දින සිදුවූ මෙම මරණයෙන් පසු උන්වහන්සේ මරණය පරාජය කරමින් යළි උත්ථානය වීම එළඹෙන ඉරිදා (අප්‍රේල් 05) පාස්කු ඉරිදා දිනයේදී සැමරීමට කිතුණු ජනතාව සූදානම් වේ.
මෙම විශේෂ දිනය නිමිත්තෙන් දිවයිනේ සියලුම කිතුණු දේවස්ථානවල ආරක්ෂාව තර කර ඇති අතර බැතිමතුන්ට සාමකාමීව සිය ආගමික වතාවත්වල නිරත වීමට අවශ්‍ය කටයුතු යොදා තිබේ. මහ සිකුරාදා දිනයේ පණිවුඩය වන කැපකිරීම සහ පරාර්ථකාමීත්වය සමාජය තුළ වර්ධනය කර ගැනීමට අද දිනය කදිම අවස්ථාවක් බව ආගමික නායකයෝ පෙන්වා දෙති.














