ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීය අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ ඔවුන්ගේ සුබසාධනය වෙනුවෙන් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇති බව ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න මහත්මිය ප්‍රකාශ කළාය. අද (17) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ඇය පෙන්වා දුන්නේ මාධ්‍යවේදීන්ගේ වෘත්තීය ගරුත්වය රැකගැනීම සඳහා ස්වාධීන ආයතනයක අවශ්‍යතාවය පවතින බවයි.
ඒ අනුව ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීයභාවය ආරක්ෂා කිරීමට සහ අයිතිවාසිකම් කඩ වූ විට ඒ වෙනුවෙන් පෙනී සිටීමට “වරලත් මාධ්‍ය ආයතනය” පිහිටුවීමට පියවර ගන්නා බවත් ඒ සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ අනුමැතිය දැනටමත් ලැබී ඇති බවත් ඇය සඳහන් කළාය. මෙම ආයතනය පිහිටුවීම මගින් මාධ්‍යවේදීන්ට වඩාත් ගෞරවනීය ලෙස සිය වෘත්තියේ නිරත වීමට අවස්ථාව හිමිවනු ඇත.
මීට අමතරව මාධ්‍යවේදීන් වෙනුවෙන් වාර්ෂිකව පවත්වන ශිෂ්‍යත්ව වැඩසටහන මෙම වසරේදීත් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ. විශේෂයෙන්ම කිසිදු සමාජ ආරක්ෂණයක් නොමැති ප්‍රාදේශීය මාධ්‍යවේදීන් කෙරෙහි අවධානය යොමු කරමින් ඔවුන් සඳහා සෞඛ්‍ය රක්ෂණාවරණයක් ලබා දීමට මේ වන විට සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරිය අනාවරණය කළාය. ඇතැම් පෞද්ගලික මාධ්‍ය ආයතනවල සේවකයින්ගේ වැටුප් ගෙවීම් සම්බන්ධ ගැටලු පිළිබඳව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා හරහා දැනටමත් මැදිහත් වී ඇති බවද ඇය වැඩිදුරටත් කියා සිටියාය.














