2026/2027 අධ්‍යයන වර්ෂය සඳහා උසස් පෙළ වෘත්තීය විෂය ධාරාවට (Grade 12) සිසුන් ඇතුළත් කර ගැනීමට අදාළ අයදුම්පත් කැඳවන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර තිබේ. මෙම විෂය ධාරාවේ ඇති සුවිශේෂීත්වය වන්නේ ඇතුළත් වීමේදී අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල සලකා නොබැලීමයි. ඒ අනුව 2025, 2026 වසරවලදී හෝ අවසන් වසර තුන ඇතුළත සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි ඕනෑම සිසුවෙකුට තමන්ගේ ප්‍රදේශයේ වෘත්තීය විෂය ධාරාව ක්‍රියාත්මක වන පාසලකට මේ සඳහා ලියාපදිංචි විය හැකිය.
මෙම පාඨමාලාව යටතේ 12 ශ්‍රේණියේදී සිසුන්ට මෘදු කුසලතා (Soft skills) සංවර්ධනය සහ විවිධ වෘත්තීය ක්ෂේත්‍ර පිළිබඳ මූලික හැඳින්වීමක් ලබා දෙන අතර, 13 ශ්‍රේණියේදී රජයේ වෘත්තීය පුහුණු ආයතන හා සේවා ස්ථාන මට්ටමින් ප්‍රායෝගික පුහුණුව ලබා දෙයි. සාර්ථකව පාඨමාලාව අවසන් කරන සිසුන්ට දේශීය හා විදේශීය වශයෙන් පිළිගත් NVQ 4 මට්ටමේ සහතිකයක් හිමිවන අතර එමඟින් රැකියා අවස්ථා, උසස් අධ්‍යාපනය හෝ ව්‍යවසායකත්වයට පිවිසීමට මග විවර වේ.
සංචාරක සහ ආගන්තුක සත්කාරය, මෝටර් රථ තාක්ෂණය, තොරතුරු තාක්ෂණය, සෞඛ්‍ය සේවා, මැණික් හා ස්වර්ණාභරණ, රූපලාවන්‍ය, විදුලි හා ඉලෙක්ට්‍රොනික තාක්ෂණය, ඉදිකිරීම් සහ කෘෂිකර්මාන්තය ඇතුළු වෘත්තීය ක්ෂේත්‍ර රැසක් යටතේ මෙහිදී පුහුණුව ලබා ගත හැකිය. වැඩිදුර තොරතුරු සහ අයදුම්පත් අමාත්‍යාංශයේ www.moe.gov.lk වෙබ් අඩවියෙන් හෝ 0112 787136 / 0112 786746 යන දුරකථන අංක ඔස්සේ ලබා ගත හැකිය.














