ග්‍රෑන්ඩ්පාස්, සාතම්වත්ත ප්‍රදේශයේ නිවසකට ඊයේ (27) අලුයම් කාලයේ කඩා වැදුණු නාඳුනන පිරිසක් විසින් එහි රැඳී සිටි 22 හැවිරිදි තරුණයකු කඩුවකින් කපා කොටා ම්ලේච්ඡ ලෙස ඝාතනය කර තිබේ. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ග්‍රෑන්ඩ්පාස්, වෙහෙරගොඩැල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණයෙකි. පොලිසිය සැක කරන්නේ මෙය පෞද්ගලික ආරවුලක් මත සිදුකළ පළිගැනීමක් විය හැකි බවයි.
අදාළ තරුණයා නිවසේ රැඳී සිටියදී එල්ල වූ මෙම ප්‍රහාරයෙන් ඔහුගේ උදර ප්‍රදේශයට බරපතළ කඩු පහරවල් එල්ල වී ඇති අතර, අපරාධය සිදුකළ සැකකරුවන් ප්‍රදේශයෙන් පලාගොස් ඇත. සිද්ධිය වන අවස්ථාවේ නිවෙස් හිමිකරුවන් ද පැන යන්නට ඇති බවට පොලිසිය සැක පළ කරයි. ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.එම්. සංජය හේරත් මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශය මගින් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබුණද, ඊයේ සවස් වනතුරුත් කිසිදු සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට හැකි වී නොමැත.














