බටහිර අප්‍රිකානු රාජ්‍යයක් වන ගිනියා-බිසව් හි පැවති ජනමත විචාරණයකින් එරට නව ව්‍යවස්ථාවක් අනුමත වී ඇති අතර, ඒ හරහා ජනාධිපතිවරයාගේ බලතල දැවැන්ත ලෙස පුළුල් කර තිබේ.
එළඹෙන දෙසැම්බර් මාසයට නියමිත මහ මැතිවරණයට පෙර සංවිධානය කරන ලද මෙම ජනමත විචාරණයෙන් නව ව්‍යවස්ථා සංශෝධනය සඳහා 70% කට අධික ඡන්ද ප්‍රතිශතයක් ලැබී ඇති බව තාවකාලික ප්‍රතිඵල පෙන්වා දෙයි. මීට දශක තුනකට වැඩි කාලයකට පෙර සමාජවාදී එක්-පක්ෂ ක්‍රමය අහෝසි කිරීමෙන් පසු එරට සිදු වූ ප්‍රධානතම ව්‍යවස්ථා සංශෝධනය මෙය වේ. නව ව්‍යවස්ථාව යටතේ අගමැතිවරයා සහ අමාත්‍ය මණ්ඩලය පත්කිරීම හා ඉවත් කිරීම, අමාත්‍යාංශ නිර්මාණය කිරීම හෝ අහෝසි කිරීම මෙන්ම දේශපාලන අර්බුදයකදී පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ජනාධිපතිවරයාට හිමි වේ.
එමෙන්ම, පාර්ලිමේන්තු මන්ත්‍රී ආසන සංඛ්‍යාව 102 සිට 65 දක්වා අඩු කිරීමටත්, ඡන්ද කොට්ඨාස සංඛ්‍යාව 29 සිට 12 දක්වා සීමා කිරීමටත් මෙහිදී පියවර ගෙන ඇත. කෙසේ වෙතත්, ප්‍රජාතන්ත්‍රවාදය දුර්වල කරන සහ විරුද්ධවාදීන් මර්දනය කිරීමේ අරමුණින් මෙම ව්‍යවස්ථා වෙනස්කම් සිදු කර ඇති බවට විපක්ෂය සහ විචාරකයෝ දැඩි චෝදනා නගති.














