ගල්ෆ් සහයෝගිතා කවුන්සිලයට (GCC) අයත් රටවල් කිහිපයක් ඉලක්ක කර ගනිමින් අද (29) උදෑසන එල්ල වූ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන් මුළු මහත් ගල්ෆ් කලාපය පුරාම දැඩි යුදමය උණුසුමක් හටගෙන ඇති බව අල්ජසීරා පුවත් සේවය වාර්තා කරයි. එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සෞදි අරාබිය, කුවේටය සහ බහරේනය යන රටවලින් මෙම ආරක්ෂක තර්ජනයන් වාර්තා වී තිබේ.
ප්‍රහාර එල්ල වීමත් සමඟ එක්සත් අරාබි එමීර් රාජ්‍යය වහාම සිය ගුවන් ආරක්ෂක පද්ධති ක්‍රියාත්මක කර ඇති අතර, එරට දෙසට පැමිණි මිසයිල සහ ඩ්‍රෝන යානා කිහිපයක් ගුවනේදීම සාර්ථකව විනාශ කළ බව නිල වශයෙන් නිවේදනය කර ඇත. පවතින අනතුරුදායක තත්ත්වය හමුවේ කුවේටය සහ බහරේනය පුරා ද අද උදෑසන හදිසි අනතුරු ඇඟවීමේ නාද (Sirens) ක්‍රියාත්මක වූ අතර, එමගින් ජනතාව අතර විශාල නොසන්සුන්තාවයක් සහ බියක් හටගෙන තිබූ බව විදෙස් මාධ්‍ය පවසයි.
ආරක්ෂක පියවරක් ලෙස ගල්ෆ් කලාපයේ සියලුම රටවල් මේ වන විට සිය උපරිම යුදමය සූදානමකින් පසුවන අතර ගුවන් තොටුපොළවල් සහ ප්‍රධාන මර්මස්ථානවල ආරක්ෂාව තර කර ඇත. කලාපීය වශයෙන් උත්සන්න වෙමින් පවතින මෙම යුදමය වාතාවරණය හේතුවෙන් ජාත්‍යන්තර වෙළඳපොළේ තෙල් මිල කෙරෙහි ද බලපෑම් එල්ල විය හැකි බව ආර්ථික විද්‍යාඥයෝ අනාවැකි පළ කරති.














