මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හමුවේ පර්සියානු බොක්ක ආශ්‍රිත සියලුම තෙල් හා ගෑස් අපනයනකරුවන් ඉදිරි දින කිහිපය තුළ සිය නිෂ්පාදන කටයුතු නතර කරනු ඇතැයි කටාර් බලශක්ති අමාත්‍ය සාද් අල්-කාබි (Saad al-Kaabi) අනතුරු අඟවයි. මෙම ප්‍රකාශයත් සමඟ ලෝක වෙළඳපොළේ බ්‍රෙන්ට් (Brent) වර්ගයේ බොරතෙල් මිල සිකුරාදා දිනයේදී 9%කින් පමණ ඉහළ ගොස් ඇති අතර, එය බැරලයක් ඩොලර් 93 සීමාව ඉක්මවා ගියේය. මෙය 2023 වසරේ සරත් සමයෙන් පසු වාර්තා වූ ඉහළම තෙල් මිල ලෙස සටහන් වේ.
Financial Times පුවත්පත සමඟ අදහස් දක්වමින් කටාර් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ඉරානය සමඟ පවතින මෙම ගැටුම තවත් සති කිහිපයක් පැවතුනහොත් බොරතෙල් බැරලයක මිල ඩොලර් 150 දක්වා ඉහළ යා හැකි බවත්, එමඟින් සමස්ත ලෝක ආර්ථිකයම බිඳ වැටීමේ අවදානමක් පවතින බවත්ය. ලෝකයේ දිනපතා තෙල් සැපයුමෙන් පහෙන් එකක් ගමන් කරන හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) හරහා නාවික ගමනාගමනය මේ වන විට සම්පූර්ණයෙන්ම පාහේ ඇණහිට ඇත. කටාර් බලශක්ති සමාගම (QatarEnergy) දැනටමත් සිය ස්වභාවික වායු (LNG) නිෂ්පාදනය නතර කර ඇති අතර, අනෙකුත් ගල්ෆ් කලාපීය රටවලට ද සිය ගබඩා පහසුකම් පිරීමත් සමඟ නිෂ්පාදනය නතර කිරීමට සිදුවනු ඇතැයි විශ්ලේෂකයෝ පවසති.














