2024 මාර්තු මාසයේදී නිව්යෝර්ක් පොලිස් දෙපාර්තමේන්තුවේ (NYPD) වයස අවුරුදු 31ක් වූ ජොනතන් ඩිලර් (Jonathan Diller) නිලධාරියා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි 36 හැවිරිදි ගයි රිවේරාට (Guy Rivera) එරෙහිව ක්වීන්ස් (Queens) අධිකරණයේ ජූරි සභාව ඊයේ (01) සිය තීන්දුව ප්‍රකාශයට පත් කළේය. එහිදී සැකකරු පළමු පෙළ මිනීමැරුම් චෝදනාවෙන් (First-degree murder) නිදහස් කිරීමට ජූරි සභාව තීරණය කර ඇත.
ප්‍රධාන මිනීමැරුම් චෝදනාවෙන් නිදහස් වුවද, දරුණු ගණයේ මිනීමැරුම් (Aggravated Manslaughter), නීතිවිරෝධී ගිනි අවි ළඟ තබා ගැනීම සහ ඩිලර් නිලධාරියාගේ සහකරු වූ සර්ජන්ට් සාෂා රෝසන් (Sasha Rosen) ඝාතනය කිරීමට තැත් කිරීම යන චෝදනාවලට රිවේරා වරදකරු බව ජූරි සභාව නිගමනය කළේය. මේ හේතුවෙන් ඔහුට සිය ජීවිත කාලයම සිරගෙදර ගත කිරීමට සිදුවනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ක්වීන්ස් දිස්ත්‍රික් නීතිඥ මෙලින්ඩා කැට්ස් (Melinda Katz) සහ පොලිස් සංගමයේ සභාපති පැට්රික් හෙන්ඩ්රි (Patrick Hendry) මෙම තීන්දුව පිළිබඳව සිය අසතුට පළ කර ඇත. ඔවුන් පවසන්නේ මෙය පැහැදිලිවම පළමු පෙළ මිනීමැරුමක් බවත්, නීතිය ක්‍රියාත්මක කරන නිලධාරියෙකුගේ ජීවිතය නැති කළ අපරාධකරුට උපරිම දඬුවම් ලැබිය යුතු බවත්ය. 2024 වසරේදී ෆා රොක්අවේ (Far Rockaway) ප්‍රදේශයේදී වාහනයක් පරීක්ෂා කිරීමට යාමේදී රිවේරා විසින් එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් ඩිලර් නිලධාරියා ජීවිතක්ෂයට පත් විය.














