හයිටි රාජ්‍යයේ උතුරු ප්‍රදේශයේ පිහිටි ඓතිහාසික ලෆෙරියර් බලකොටුව (Laferriere Citadel) පරිශ්‍රයේ සෙනසුරාදා දින සිදු වූ දරුණු තෙරපීමකින් අවම වශයෙන් පුද්ගලයින් 30 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට බලධාරීහු ප්‍රකාශ කරති. මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවට ද අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
හයිටි රාජ්‍යයේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ප්‍රධානී ජීන් හෙන්රි පෙටිට් පවසන පරිදි, මෙම අනතුර සිදුව ඇත්තේ ප්‍රංශයෙන් නිදහස ලැබීමෙන් පසු 19 වන සියවසේ මුල් භාගයේදී ඉදිකරන ලද ලෆෙරියර් බලකොටුවේ පැවති වාර්ෂික සැමරුම් උත්සවයක් අතරතුරදීය.
යුනෙස්කෝ ලෝක උරුම අඩවියක් වන මෙම බලකොටුව නැරඹීමට සහ සැමරුම් උත්සවයට සහභාගී වීමට සෙනසුරාදා දින විශාල වශයෙන් සිසුන් සහ සංචාරකයින් පිරිසක් පැමිණ සිටි බව වාර්තා වේ. අධික ජනකායක් එක්වරම ගමන් කිරීමට උත්සාහ කිරීමේදී මෙම තෙරපීම හටගෙන ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.














