හම්බන්තොට මහ රෝහලේ මෙතෙක් පැවති ප්‍රධානතම අඩුපාඩුවක් සම්පූර්ණ කරමින්, වකුගඩු රෝගීන් සඳහා වූ රක්ත කාන්දු පෙරණ (Dialysis) ඒකකය අද (27) දින නිල වශයෙන් විවෘත කරන ලදී. හම්බන්තොට රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අයන්ති ජයවර්ධන මහත්මියගේ මූලිකත්වයෙන් මෙම ඒකකය විවෘත කෙරුණු අතර, එමගින් ප්‍රදේශයේ වකුගඩු රෝගීන්ට මෙතෙක් පැවති දැඩි දුෂ්කරතාවලට විසඳුම් හිමි වනු ඇත.
මීට පෙර හම්බන්තොට ප්‍රදේශයේ වකුගඩු රෝගීන්ට රුධිර කාන්දුකරණ සේවාවන් ලබා ගැනීම සඳහා තංගල්ල, මාතර හෝ කරාපිටිය වැනි දුර බැහැර රෝහල් වෙත යාමට සිදු විය. හම්බන්තොට රෝහලේ මෙම සේවාව ස්ථාපිත කිරීමත් සමඟ රෝගීන්ට තමන්ගේම ප්‍රදේශයේදී පහසුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට දැන් අවස්ථාව සැලසී තිබේ.
මෙම ඒකකය ආරම්භක පියවර යටතේ රක්ත කාන්දු පෙරණ යන්ත්‍ර 03කින් සමන්විත වන අතර, ඉදිරියේදී එම යන්ත්‍ර සංඛ්‍යාව 15 දක්වා ඉහළ නැංවීමට සැලසුම් කර ඇති බව රෝහල් අධ්‍යක්ෂවරිය මෙහිදී අවධාරණය කළාය. මෙම නව පහසුකම මගින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය සේවාවන් තවදුරටත් ශක්තිමත් වන අතර රෝගීන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට ද එය මහත් පිටුවහලක් වනු ඇත.

















