හම්බන්තොට ප්‍රදේශයේ ක්‍රියාත්මක කිරීමට යෝජිත දැවැන්ත සූර්ය බලශක්ති ව්‍යාපෘතිය කඩාකප්පල් කිරීමේ අරමුණින්, විදේශගත ආගමික සංවිධානයක් විසින් මෙරට පරිසරවේදීන් පිරිසකට ඇමරිකානු ඩොලර් මිලියන දෙකක (රුපියල් මිලියන 600කට අධික) මුදලක් ලබා දී ඇති බවට තොරතුරු හෙළිව තිබේ. ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තිය වෙත යොමු වීම වැළැක්වීම සහ රට තවදුරටත් පෙට්‍රෝලියම් වැනි පොසිල ඉන්ධන මත යැපෙන තත්ත්වයට පත් කිරීම මෙම කුමන්ත්‍රණයේ මූලික අරමුණ බව වාර්තා වේ. මෙම හෙළිදරව්වත් සමඟ මෙරට බලශක්ති ක්ෂේත්‍රය තුළ දැඩි කතාබහක් නිර්මාණය වී ඇත.
මෙම අරමුදල් ලබාදුන් බව කියන විදේශීය ආගමික සංවිධානය, පරිසර සංවිධාන හරහා විවිධ නීතිමය සහ පරිසර හේතු ඉදිරිපත් කරමින් ව්‍යාපෘතිය ප්‍රමාද කිරීමට උත්සාහ කර ඇති බවට සැක කෙරේ. හම්බන්තොට සූර්ය බල උද්‍යානය මගින් මෙගාවොට් 150ක ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට සැලසුම් කර ඇති අතර, එය මෙරට බලශක්ති ස්වාධීනත්වය සඳහා තීරණාත්මක සාධකයකි. මෙම ව්‍යාපෘතිය අඩපණ කිරීම හරහා විදේශීය බලශක්ති සමාගම්වලට මෙරට වෙළඳපොළ තුළ සිය ආධිපත්‍යය පවත්වාගෙන යාමට අවස්ථාව සැලසෙන බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
මේ අතර, හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතයට හානි වන බව පවසමින් පරිසර සංවිධාන කිහිපයක් මෙම ව්‍යාපෘතියට එරෙහිව මීට පෙර විරෝධය පළ කර තිබුණි. එහෙත් එම විරෝධතාවලට පසුබිමින් මෙවැනි විශාල මූල්‍ය ගනුදෙනුවක් පවතින්නේ නම්, එය ජාතික ආරක්ෂාවට සහ ආර්ථිකයට එල්ල කළ දැඩි තර්ජනයක් බව රජයේ පාර්ශවයන් අවධාරණය කරයි. අදාළ මූල්‍ය ප්‍රවාහයන් සහ සම්බන්ධතා පිළිබඳව මේ වන විට විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, මෙයට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳව ඉදිරියේදී තොරතුරු අනාවරණය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.














