මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ශ්‍රී ලංකාව බරපතල ආර්ථික අවදානමකට මුහුණ දී සිටින බව හිටපු සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි. අද (18) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ගෝලීය තෙල් මිල ඉහළ යෑම, නාවික ගමන් මාර්ග අවහිර වීම සහ උද්ධමනය ඉහළ යාම හේතුවෙන් මෙරට බිඳෙනසුලු ආර්ථිකය යළිත් කඩාවැටීමේ තර්ජනයකට ලක්ව ඇති බවයි. බ්‍රෙන්ට් (Brent) බොරතෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර, සැපයුම් දාම බිඳවැටීම නිසා ප්‍රවාහන, ආහාර සහ අත්‍යවශ්‍ය සේවා ගාස්තු ඉහළ යනු ඇති බව ඔහු පෙන්වා දුන්නේය.
විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ තේ අපනයනයෙන් 38%ක් පමණ (ඇමෙරිකානු ඩොලර් මිලියන 500කට අධික වටිනාකමක්) මැදපෙරදිග කලාපයට සිදුවන බැවින් එම අංශයට එල්ල වන බලපෑම ඉතා විශාල බව හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය. සංචාරකයින්ගෙන් 28.5%ක් පමණ ඩුබායි, දෝහා සහ අබුඩාබි වැනි මධ්‍යස්ථාන හරහා මෙරටට පැමිණෙන බැවින් සංචාරක ක්ෂේත්‍රයද දැඩි අර්බුදයකට ලක්වනු ඇති බව ඔහු සඳහන් කළේය. මීට අමතරව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය වැනි රටවලින් ලැබෙන විදේශ ප්‍රේෂණ අඩුවීම සහ මෙරට ඉන්ධන හා විදුලි ගාස්තු ඉහළ යාම නිසා උද්ධමනය පාලනය කළ නොහැකි මට්ටමකට පත්වනු ඇති බවට ඔහු අනතුරු ඇඟවීය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හිස් පොරොන්දු ලබා දෙමින් සිටින බවට චෝදනා කළ හිටපු අමාත්‍යවරයා, රට තුළ දේශපාලන අස්ථාවරත්වයක් නිර්මාණය වන බවට ද අනාවැකි පළ කළේය. “ගෝඨාභය ඉල්ලා අස්වෙලා ගියා. හැබැයි අනුර කුමාරට වෙන්නේ කවුරුත් හොයාගන්න බැරි විදිහට පලායන්නයි – මතක තබා ගන්න අපි මේක කිව්වා කියලා,” යනුවෙන් ඔහු දැඩි ප්‍රකාශයක් සිදු කළේය. උද්ධමනය සහ විදේශ විනිමය පීඩනය කළමනාකරණය කිරීම සඳහා පොලී අනුපාත සංශෝධනය කිරීම ඇතුළු පූර්ව ආරක්ෂණ පියවර ගන්නා ලෙස ඔහු රජයෙන් ඉල්ලා සිටියේය.















