දේශීය සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් හැටන් ලංගම ඩිපෝව මගින් විශේෂයෙන් නිර්මාණය කරන ලද නව ‘සෆාරි බස් රථය’ අද (06) නිල වශයෙන් ධාවනයට එක් කෙරිණි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මංජුල සුරවීර ආරච්චි සහ ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වි යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන්, සර්ව ආගමික වතාවත් මධ්‍යයේ මෙම සමාරම්භක උත්සවය පැවැත්විණි. මගීන්ට උපරිම පහසුකම් සැලසෙන පරිදි නිර්මාණය කර ඇති මෙම රථය හැටන් ඩිපෝවේ ඉංජිනේරු අංශයේ දක්ෂතාවක් ලෙස හැඳින්විය හැකිය.
රත්මලාන ඩිපෝවේ ධාවනයෙන් ඉවත් කර තිබූ පැරණි බස් රථයක් හැටන් වෙත රැගෙන විත්, රුපියල් ලක්ෂ 40ක පිරිවැයක් දරා ආසන 42කින් සමන්විත වන පරිදි මෙම සෆාරි රථය නවීකරණය කර තිබේ. වැසි සහිත මෙන්ම වැසි රහිත කාලගුණික තත්ත්වයන් යටතේ ද එකලෙස භාවිත කළ හැකි පරිදි මෙහි ව්‍යුහය සකස් කර ඇත. සංචාරකයන්ට මෙන්ම වන්දනාකරුවන්ට ද නව අත්දැකීමක් ලබා දෙමින්, පවතින ශ්‍රී පාද වන්දනා වාරය වෙනුවෙන් හැටන් දුම්රිය ස්ථානයේ සිට නල්ලතන්නිය දක්වා මෙම රථය ධාවනයට එක් කිරීමට නියමිතය.













