හැටන් දික්ඔය ප්‍රදේශයේ සිදුවූ ආන්දෝලනාත්මක ද්විත්ව මිනීමැරුම සහ සොරකම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ප්‍රධාන සැකකරු, අද (27) අලුයම බන්ධනාගාර නිලධාරීන්ගේ ඇස්වලට වැලි ගසා මහනුවර ජාතික ශික්ෂණ රෝහලෙන් පැන ගොස් ඇති බව හැටන් පොලිසිය නිල වශයෙන් තහවුරු කර තිබේ.
සැකකරු මීට පෙර හැටන් පොලිස් නිලධාරීන් විසින් බගවන්තලාව පෙට්‍රසෝ වතුයායේ සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, ලබන ජූනි මස 03 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් අණකර තිබුණි. කෙසේ වෙතත්, බන්ධනාගාරයේදී සැකකරුට වැළඳුණු හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් බන්ධනාගාර නිලධාරීන් විසින් ඔහුව ඊයේ (26) දින මහනුවර ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර තිබූ අතර, එහි නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදීම අද අලුයම ඔහු මෙලෙස රෝහල් ආරක්ෂක වළලු බිඳගෙන පැනගොස් ඇත.
පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ සැකකරු මීට පෙර අපරාධය පිළිබඳව ලබාදී තිබූ පාපොච්චාරණය හේතුවෙන් මේ වන විට ඔහුගේ බිරිඳගේ ජීවිතයට ද දැඩි අවදානමක් මතුව තිබේ. තමන් මෙම ද්විත්ව ඝාතනය සහ සොරකම සිදුකළේ බිරිඳගේ පවතින ණය මුදලක් ගෙවා දැමීම සඳහා ඇය විසින් කරන ලද දැඩි බලපෑම් මත බවත්, තමන්ව මෙම විනාශයට ඇද දැමූ බිරිඳගෙන් පළිගැනීමක් ලෙස බන්ධනාගාරයෙන් කෙසේ හෝ නිදහස් වී පැමිණ ඇයව ද අනිවාර්යයෙන්ම ඝාතනය කරන බවත් සැකකරු හැටන් පොලිස් අපරාධ විමර්ශන අංශය ඉදිරියේ සපථ කර තිබුණි.
සැකකරු මෙලෙස රෝහලෙන් සූක්ෂ්ම ලෙස පැනයාමත් සමඟ, ඔහු බිරිඳ සොයා පැමිණීමේ දැඩි අවදානමක් පවතින බැවින් වහාම ක්‍රියාත්මක වූ බගවන්තලාව පොලිසිය සැකකරුගේ බිරිඳට අද දින ආරක්ෂක හේතූන් මත වහාම පොලිස් ස්ථානය වෙත පැමිණෙන ලෙස දැනුම් දී ඇත. පැනගිය භයානක ඝාතකයා අත්අඩංගුවට ගැනීම සඳහා බන්ධනාගාර බලධාරීන්, හැටන් සහ මහනුවර පොලිස් කොට්ඨාස මෙන්ම වතුකරයේ විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් එක්ව මේ වන විට කලාපය පුරා දැවැන්ත ලුහුබැඳීමේ මෙහෙයුමක් දියත් කර තිබේ.
















