සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහට ලක්වූ, හැටන් ප්‍රදේශයේ පාසල් සිසුවෙකුට අමානුෂික ලෙස පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විශේෂ විමර්ශනයකින් පසු සැකකාර සිසුන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැටන් පොලිසිය සමත්ව තිබේ. අත්අඩංගුවට ගත් පිරිස හැටන් සහ දික්ඔය ප්‍රදේශවල පදිංචි 16 හැවිරිදි වියේ පසුවන සිසුන් බව වාර්තා වේ.
පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙය පාසල් විනය සම්බන්ධ කරුණක් මත ඇතිවූ වෛරයක් පිරිමසා ගැනීමක් බවයි. පහරකෑමට ලක්වූ සිසුවා විසින්, තම පන්තියේ තවත් සිසුවෙකු දුම්පානය කරන බවට පන්ති භාර ගුරුවරියට පැමිණිලි කර ඇත. ඊට පළිගැනීමක් ලෙස අදාළ සිසුවා තවත් මිතුරන් දෙදෙනෙකු සමඟ එක්ව මෙම අමානුෂික පහරදීම සිදුකර තිබේ.
මෙම සිදුවීම මීට දින 21කට පෙර (මාර්තු මුලදී) සිදුවුවද, ඒ පිළිබඳව පොලිසියට පැමිණිලි කර නොතිබුණි. වාර්තා වන පරිදි, අදාළ විදුහල්පතිවරයා විසින් පාසල් මට්ටමින් මෙම ගැටලුව සමථයකට පත් කිරීමට උත්සාහ කර ඇති බැවින් පොලිස් මැදිහත්වීමක් සිදුව නැත. කෙසේ වෙතත්, පහරදීමේ වීඩියෝව ඊයේ (28) සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වීමත් සමඟ ඇතිවූ දැඩි අපහසුතාවය හේතුවෙන් පහරකෑමට ලක්වූ සිසුවා සහ ඔහුගේ මව විසින් හැටන් පොලිසියට නිල වශයෙන් පැමිණිලි කර තිබේ.
පහරදීමට සම්බන්ධ වූ සිසුන් දෙදෙනා සහ එම දර්ශන වීඩියෝ කර සමාජ මාධ්‍ය වෙත මුදාහළ සිසුවා ඇතුළු තිදෙනාම මේ වන විට පොලිස් අත්අඩංගුවේ පසුවේ. පහරකෑමට ලක්වූ සිසුවා වෛද්‍ය පරීක්ෂණ සඳහා අධිකරණ වෛද්‍යවරයා (JMO) වෙත යොමු කර ඇති අතර, සැකකාර සිසුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
හැටන් පොලිස් ස්ථානාධිපතිවරයාගේ මෙහෙයවීම මත නිලධාරීන් කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබයි.















