ලංකා ගමනාගමන මණ්ඩලය විසින් පෙබරවාරි මස 09 වන දින සිට 15 වන දින දක්වා ප්‍රකාශයට පත් කළ විශේෂ “ආදායම් සතිය” තුළ හැටන් ඩිපෝව කැපී පෙනෙන මූල්‍ය වර්ධනයක් අත්පත් කරගෙන තිබේ. මීට පෙර රුපියල් ලක්ෂ 24-25ත් අතර මට්ටමක පැවති ඩිපෝවේ දෛනික ආදායම, මෙම විශේෂ සතිය තුළ රුපියල් ලක්ෂ 32 දක්වා ඉහළ නැංවීමට හැකි වූ බව හැටන් ඩිපෝ කළමණාකාර නලින් වීරසූරිය මහතා ප්‍රකාශ කළේය. විශේෂයෙන්ම දුර ගමන් සේවා බස් රථවලින් ලැබුණු දායකත්වය මෙම ආදායම් වර්ධනයට ප්‍රධානතම හේතුව වී ඇත.
දැනට හැටන් ඩිපෝව මගින් දිනකට බස් රථ 81ක් ධාවනය සඳහා එක් කර ඇති අතර ඉන් බස් රථ 23ක් කොළඹ දක්වාත්, බස් රථ 24ක් මහනුවර දක්වාත් ධාවනය කෙරේ. සෙසු බස් රථ කෙටි දුර සේවා සඳහා යොදවා තිබේ. ශ්‍රී පාද වන්දනා වාරය ආරම්භ වී තිබුණද, හැටන් දුම්රිය ස්ථානය දක්වා දුම්රිය ධාවනය නොවීම හේතුවෙන් වසර ගණනාවක් පුරා පැවති “දුම්රිය – ලංගම” ඒකාබද්ධ සේවය තාවකාලිකව නතර වී තිබීම නිසා නල්ලතන්නිය දක්වා වන සේවාවල ආදායම යම් මට්ටමකින් පහත වැටී ඇති බව ද වාර්තා වේ.
එසේ වුවද, ඩිපෝවේ රියැදුරන්, කොන්දොස්තරවරුන් ඇතුළු සමස්ත සේවක මණ්ඩලය දැක්වූ කැපවීම හේතුවෙන් මෙම ඉලක්කගත ආදායම සපුරා ගැනීමට හැකි වී තිබේ. දුම්රිය මාර්ගයේ පවතින බාධාවන් හමුවේ වුවද පෞද්ගලික බස් රථ සමඟ පවතින තරගකාරිත්වය ජය ගනිමින් ලංගම සේවාව වඩාත් කාර්යක්ෂමව පවත්වාගෙන යාමට හැටන් ඩිපෝව සමත්ව ඇත.















