අධික උෂ්ණත්වයක් පවතින මෙම කාලසීමාවේ අවුරුදු උත්සව සහ ජන ක්‍රීඩා වල නිරත වීමේදී දැඩි අවධානයක් යොමු කරන ලෙස රජයේ භෞත චිකිත්සක නිලධාරීන්ගේ සංගමයේ සභාපති රොබින් ජෑන්ස් මහතා පවසයි. අධික රශ්මිය නිසා සිරුරෙන් ජලය සහ ලවණ ඉවත් වීමෙන් විජලනය, මාංශපේෂී පෙරළීම, හිසරදය, වමනය සහ කරකැවිල්ල වැනි රෝගී තත්ත්වයන් මෙන්ම ජීවිත අවදානමක් පවා ඇති විය හැකි බව ඔහු පෙන්වා දෙයි. විශේෂයෙන්ම පෙරවරු 11.00 සිට පස්වරු 3.00 දක්වා කාලය තුළ සෘජු හිරු එළියට නිරාවරණය වී ක්‍රීඩා කිරීම හෝ පුහුණු වීම් සිදු කිරීමෙන් වළකින ලෙසත්, එම කටයුතු උදෑසන හෝ සවස් කාලයට යොදා ගන්නා ලෙසත් උපදෙස් දෙනු ලැබේ. පාසල් දරුවන්, වැඩිහිටියන්, ගර්භණී මව්වරුන් සහ නිදන්ගත රෝගාබාධ ඇති පුද්ගලයින් මේ පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතුය.
අධික උෂ්ණත්වය පවතින විට ක්‍රියාකාරකම් ආරම්භ කිරීමට පෙර, අතරතුර මිනිත්තු 15-20 කට වරක් සහ පසුව ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම අත්‍යවශ්‍ය වේ. යම් හෙයකින් හිසරදය, කරකැවිල්ල, අධික තෙහෙට්ටුව හෝ හුස්ම ගැනීමේ අපහසුවක් දැනුනහොත් වහාම එම ක්‍රියාකාරකම් නවත්වා විවේක ගත යුතු අතර දිගු වේලාවක් හිරු එළියට නිරාවරණය වීමෙන් වැළකී සිටීම සෞඛ්‍යාරක්ෂිත වේ.














