පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා විසින් එල්ල කරන ලද දූෂණ චෝදනාවක් මුල් කරගනිමින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා සහ ඒ මහතා අතර අද (20) සභාවේදී දැඩි වාග් සංග්‍රාමයක් ඇති විය.
මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා සභාව අමතමින් කියා සිටියේ, අමාත්‍ය කුමාර ජයකොඩි මහතා මීට පෙර පොහොර සංස්ථාවේ සේවය කරන සමයේදී ටෙන්ඩර් වංචාවකට වැරදිකරු වී එම ධුරයෙන් ඉවත් කර ඇති බවයි. ඔහු එම තීරණයට එරෙහිව අධිකරණයේ නඩු පැවරූ නමුත් ඉන් පරාජයට පත් වූ බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කළ අමාත්‍ය කුමාර ජයකොඩි මහතා කියා සිටියේ තමන් කිසිවිටෙකත් පොහොර සංස්ථාවෙන් ඉවත් නොකළ බවත්, තමන් ඉල්ලා අස්වූ බවත්ය. අසත්‍ය චෝදනා එල්ල නොකර ඒවා ඔප්පු කර පෙන්වන ලෙස අමාත්‍යවරයා මන්ත්‍රීවරයාට අභියෝග කළේය.














