පෙබරවාරි 14 වන දිනට යෙදුණු ආදරවන්තයන්ගේ දිනයත් සමඟ ශ්‍රී පාදස්ථානය වන්දනා කිරීමට හැටන් මාර්ගය ඔස්සේ විශාල පිරිසක් පැමිණි බව නල්ලතන්නි පොලිසිය වාර්තා කරයි. මෙවර පැමිණි වන්දනාකරුවන් අතර වැඩි පිරිසක් තරුණ තරුණියන් වීම විශේෂත්වයක් වූ අතර, ඔවුන් රැගත් වාහනවලින් නල්ලතන්නි නගරයේ සියලුම රථ ගාල් පිරී ගොස් තිබුණි. මේ හේතුවෙන් නල්ලතන්නිය – මස්කෙළිය මාර්ගයේ මෝහිණි දිය ඇල්ල දක්වාම වාහන පෝලිම් දක්නට ලැබුණු බවත්, මාර්ගයේ එක් පසෙක වාහන ගාල් කිරීමට පොලිසිය පියවර ගත් බවත් වාර්තා වේ.
මෙම වන්දනා තදබදය මධ්‍යයේ මොරටුව ප්‍රදේශයේ සිට පැමිණි 81 හැවිරිදි පුද්ගලයෙකු හැටන් මාර්ගයේ ඉදිකටුපාණ ප්‍රදේශයේදී හදිසියේ රෝගාතුර වී තිබේ. වහාම ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් ඔහු පහළට රැගෙන විත් මස්කෙළිය රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගත්තද, රෝහලට රැගෙන යන විටත් ඔහු ජීවිතක්ෂයට පත්ව සිටි බව පොලිසිය තහවුරු කළේය. මියගිය පුද්ගලයාගේ සිරුර පිළිබඳ අධිකරණ වෛද්‍ය පරීක්ෂණය දික්ඔය මූලික රෝහලේදී පැවැත්වීමට නියමිතය.















