අද (18) දිනයේත් දිවයිනේ පළාත් කිහිපයකට වැසි සහිත කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. විශේෂයෙන්ම උතුර, උතුරු-මැද, මධ්‍යම, ඌව, නැගෙනහිර සහ දකුණු පළාත්වල විටින් විට වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි.
මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ඉක්මවූ තරමක තද වැසි ඇති වීමේ හැකියාවක් පවතී. දිවයිනේ සෙසු ප්‍රදේශවලට පස්වරු 1.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. මීට අමතරව, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කෙරේ.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.














