බ්‍රිතාන්‍යයේ ග්‍රෑන්ඩ් ස්ලෑම් යුගල ශූර හෙන්රි පැටන් (Henry Patten), මැදපෙරදිග පවතින දරුණු යුද වාතාවරණය මධ්‍යයේ ඩුබායි නුවරින් බේරී පැමිණි බියකරු අත්දැකීම විදේශ මාධ්‍ය වෙත අනාවරණය කර තිබේ. ඉරාන මිසයිල ප්‍රහාර මාලාවට එක්සත් අරාබි එමීර් රාජ්‍යය ලක්වන අවස්ථාවේදී පැටන් ඇතුළු ක්‍රීඩකයින් පිරිසක් ඩුබායි හි සිරවී සිටි අතර, තමන් රැඳී සිටි හෝටලයට විනාඩි පහක පමණ දුරින් පිහිටි ඇමරිකානු කොන්සල් කාර්යාල ගොඩනැගිල්ලට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වනු තමන් සියසින් දුටු බව ඔහු පවසයි.
පැටන් ඇතුළු ක්‍රීඩකයින්, නිලධාරීන් සහ මාධ්‍යවේදීන් 40ක පමණ පිරිසකට ගුවන් ගමන් අවලංගු වීම හේතුවෙන් දින කිහිපයක් ඩුබායි හි රැඳී සිටීමට සිදු විය. එහිදී ඕමාන දේශසීමාව හරහා පලා යාමට පැය හතක කාලයක් මෝටර් රථයකින් ගමන් කරමින් ගත් උත්සාහය ද අසාර්ථක වූ බවත්, අවසානයේ කයිරෝ සහ රෝමය හරහා ලන්ඩන් බලා පැමිණීමට සමත් වූ බවත් ඔහු සඳහන් කරයි. මෙම කම්පන සහගත අත්දැකීම හේතුවෙන් හෙන්රි පැටන් කැලිෆෝනියාවේ පැවැත්වෙන ඉන්දියන් වෙල්ස් (Indian Wells) තරගාවලියෙන් ඉවත් වීමට ද තීරණය කර තිබේ.














